අපක්ෂපාතී නිරීක්ෂණය භාවනා උපදෙස් අංක 19

දේශනාවේ පිටපත 👇

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.......///


බුද්ධං, ධම්මං, සංඝං නමස්සාමි.


මඝ්ඝා නට්ඨංගිකං සෙට්ඨෝ

සච්චානං චතුරෝපධා

විරාගෝ සෙට්ඨෝ ධම්මා නං

ද්විපදානංච චක්ඛුමාතීති.


 මාර්ගයන් අතරින් කාරනා අටකින් යුත් ආර්‍යශ්ටාංගි මාර්ගය ශ්‍රේෂ්ඨයි,

 සත්‍යන් අතරින් කාරනා හතරකින් යුත් චතුරාර්‍යසත්‍ය ශ්‍රේෂ්ඨයි,

ධර්මතා අතරින් නොඇල්ම නම් වූ විරාගය ශ්‍රේෂ්ඨයි,

 දෙපා ඇත්තවුන් අතරින් ඔබෙත් මගෙත් ශාස්තෲන්වරයාන් වෙච්ච බුදුරජාණන්වහන්සේ ශ්‍රේෂ්ඨයි.

 පින්වත් මෑණියන් ප්‍රධාන, ශ්‍රද්ධාවන්ත පින්වතුන්ගෙන් අවසරයි. සතිපට්ටාන සූත්‍රය කේන්ද්‍රගත කරගත්ත 19 වැනි භාවනා උපදේශය කරන වෙලාවයි මේ.

පසුගිය සතිය වෙනකොට අනාපානසති සූත්‍රය හරහා අපි ගොඩක් දුර ඇවිත් තිබුනා. අවසාන භාවනා උපදේශයට අවසානයක් දකින වෙලාවේදි ධම්මානුපස්සනා කොටස ගැන යම් විදිහක විවරණයක් කරන්න අපි උත්සහ උනා.කොහොම නමුත් දීර්ඝ ගමනක් ආවා.

 මේක අපි ඉස්සෙල්ලම සද්ද බද්ද එක්ක වැඩේ පටන් ගත්තෙ, ඒවට සාදර වෙන්න කියලා.ඊට පස්සෙ හිත දුවන ඒවට. ඒ දෙක හසුරවාගෙන ශරීරය මතුපිටට ආවා. අභ්‍යන්තරයට යන්න හදිස්සි උනේ නැ. ඉවසන්න කිව්වා. ශරීරය මතුපිටත් ඔහොම්මම ඉදලා ඒ දැනෙන චුට්ටට වඩා පුළුවන් තරම් මතුපිට මුලු ශ‍රීරය පුරාවටම යන්න පුළුවන්විදිහේ තැන්පත් කමක් හදාගන්න කියලා යෝජනා කාලා. ඊටපස්සෙ ශරිරයේ අභ්‍යන්තර වදවේදනා හදුනා ගෙන ඒවාට සාදර වෙලා ඒ වේදනාවල් තියෙන තැන් විතරක් නෙවෙයි ඒ තියෙන් තැන් වලට සාපේක්ෂකව වේදනාවන් නැති තැන් ගැනත් අවදානවත් වෙන්න. අපේ හිත පුරුදු කරමු කියන යෝජනාවල් එක්ක අනාපානයට අවතීරන උනා.කොහොම කොහොම හරි ඔහොම ඔහොම ගිහිල්ලා ඒ දීර්ග කොටස් වලින් පස්සේ පසුගිය සතිය වෙනකොට ධම්මානුපස්සනාවට කතා කරද්දි ඒ කොටස ගැන මතක් කර කර බලනකොට මෙන්න මේ ගථාව මගේ මතකයට ආවා. ධම්ම පදයේ මඝ්ඝ වග්ගයේ මේ ගාථාව තියෙන්නෙ. ඇත්තම කියනවානම් ඔය ගථාවට ගථා රත්න දෙකක් එකතු වෙනවා. තව එකකුත් තියෙනවා නමුත් අද අපේ සාකච්ඡාවට මෙතනින් ප්‍රමාණවත් හින්දා මම එකකින් නැවැත්තුවා. 

ඒ ගාථාවේ තියෙන හැටියට පින්වතුනි බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තියෙන දහම් අතරින්,ධර්මතා අතරින්, අපි කියමු මූලධර්මකියලා, ඒ අතරින් "විරාගය" තමයි හොදම ,ශ්‍රේෂ්ඨම, සමහර විට අල්ලන්න ලේසිම එක හැටියට උගන්නනවා.

එතකොට ඔය කියන විරාගය හැමදේටම ප්‍රධාන වෙනවා නම්, හැමදේටම වඩා ශ්‍රේෂ්ඨ වෙනව නම්, හැමදෙයක්ම ඉස්සරහටම භාවිතයට ගන්න තියෙනව නම්, මේ කාරණේ තියෙන සම්බන්ධය හොයල බලමු. 

ඔබ අපි දන්න ආනාපානසති සූත්‍රය තුල අහල ඇති ධම්මානුපස්සනාවෙදි කාරණා 4ක් තියෙනවා. බාගදා විශ්වාස කරන්න පුළුවන් එතනින් අනාපානසතිය ඉවරයි කියල. සමහර වෙලාවට ධර්ම සාකච්ඡාවේ මුලදි ප්‍රශ්නත් තිබුනා " දැන් මම හතරවෙනි ධ්‍යානයට වගේ ඇවිල්ලයි ඉන්නෙ" වගේ කාරණා. ඒ කියන්නේ කෙලවරක ඉන්නබව හගවපු අවස්ථාත් තිබුණා.හැබැයි දහමේ හැටියට ගත්‍තාම තථාගතයන් වහන්සේ කියල දෙනවා "මූලං උප පරික්කිතබ්භං" කියලා. මුල පිරිසිදු කරන්න, මුලට එන්න කියලා. එත්කොට මෙතන ප්‍රශ්ණෙ තමයි,අපි මුලක් දන්නවාද? කියන එක..................තවම නම් දන්නේ නැහැ.

සැරියුත් හාමුදුරුවන්ගේ දේශනාවේ තියෙනවා පයට පැගෙන දූවිලි වගේ වෙන්න කියල, පාපිසි වගේ වෙන්න කියල, නමුත් අපි භාවනාව

 තුල එක්තරා එක්තරා මට්ටමක උඩක උඩක උඩක ඉන්නවා. ඒ උඩ කියන කොටසේ අපි හිතාගෙන ඉන්නවා අර හතරවෙනි ධ්‍යානය වගේ කියල තත්වයක් තියෙනවා හෝ තියෙන්න පුළුවන් බව බලාපොරොත්තු වෙනවා.

 ඊලගට මේ කියන ධම්මානුපස්සනාවට ආවහම අනිත්‍යානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී සහ පටිනිස්සග්ගානුපස්සී 

  කියන කාරනාවල් මෙනෙහි කරන්න හෝ හිතන්න, මනසිකාර වශයෙන් කරන්න පටන් ගන්න පුළුවන්. ඇත්තටම ඒක අහින්සකයි. නමුත් ඕක හන්දම තමා ගොඩක් වෙලාවට ප්‍රශ්න ඒහෙමත් ඇහුනේ හතර වෙනි ධ්‍යානයෙන් පස්සෙ විපාස්සනාවක් කරන්නේ කොහොමද කියල?...

 පින්වතුනි අපි ආපස්සට ගිහින් බැලුවොත්, ඔය ඇත්තන්ට මම මුල ඉදලම මතක් කලා භාවනාව අවසානයේ ආවර්ජනය කරන්න කියල, කමටහන් වාර්තාව සකස් කරගන්න කියලා. කමටහන් වාර්තාව ලියන්න කියාල.

 භාවනා කරලා එදා ඒ කලේ මොනවද, එදා ඒ වුනේ මොනවද, වෙච්ච හොද හෝ නරක වේවා හිතේ තියන දේ පෙලගස්වන්න, මතකයට ගන්න, ආවර්ජනය 

   කරන්න කියලා මන් හැම කාලෙකම උපදෙස් දුන්න. මේ කියන ආනාපාන සතියේ පහුගිය විස්තරයන් ටික ක්‍රියාත්මක කරල, ඉවරයක් කරගෙන ආපු කෙනා ඔය චිත්තසංකාර වලිනුත් බැහැර වෙලා ඒ හැමදේකින්ම නිදහස් උනාට පස්සෙ අවසානෙදි විරාගයක් අල්ලන්න, විරාගයක් දකින්න

      හෝ අනිත්‍යක් දකින්න, නිරෝධයක් දකින්න, පටිනිස්සග්ගයක් දකින්න, වෙනත් විශේෂම කාරණාවක් නැති වෙන්න පුළුවන්. මොකද කරන්න තියෙන ටික මේ වෙද්දි සිද්ද කරලා තියෙනව. නමුත් තවත් කොටස් වගයක ඉතුරුවක් තියෙනවා භාවනාව තුල, සූත්‍රය තුල.......

අපි මුලටම ගිහිල්ලා බැලුවොත් ආවර්ජනය කරන්න පුරුද්ද තියෙනවා නම් සිහියේ ලක්ෂණ මතක් කරන්න පුළුවන්. ඔය කියන ප්‍රත්‍යවේක්ෂාව තියෙනවා නම්. උදාහරණයක් හැටියට සද්දයක් ඇහෙනකොටම හෝ සිතුවිල්ල දුවන කොට ඒ ඇහිච්ච සද්දය හෝ ගියපු සිතිවිල්ලට හරි අපි මනාපයක් හෝ අමනාපයක් දක්වල තිබුන නම් අපේ කැමැත්තක් හෝ අකැමැත්තක් දක්වලා තිබුනනම් මොකද කියන්නේ අපිට ඕනකමක් තිබ්බට ආනාපාන සතියට යන්න අර සද්දෙන් අහකට අපේ හිත යයිද? අපේ හිත යයිද ?අර සිතිවිල්ලෙන් අහකට, යන්නේ නැහැ , ඇයි ? අපේ හිත තුල මනාපයක්, කැමැත්තක් හෝ අකැමැත්තක් තියෙනවා, යම් විදිහක රාගයක් හෝ ද්වේශයක් තියනවා ඔය කියන සද්දය කෙරෙහි හෝ සිතිවිල්ල කෙරෙහි...

හැබැයි මෙතන ටිකක් සූක්ෂමයි. ඔය ඇත්තන්ට උපදෙස් දුන්නා සාදර වෙන්නේ කියලා, එහෙම නැත්නම් මෛත්‍රී සහගත ලීලාවෙන් එය ස්පර්ශ කරන්න කියලා. එහෙම නැත්නම් ඒකට එහෙමම තියෙන්න දෙන්න කියල. මොකද අපේ පොදු පුරුද්ද තමයි ඕකට ඇලෙන එක හෝ ගැටෙන එක, අමනාප වෙන එක. ඒකෙත් ප්‍රශ්නෙ මේකයි රාගය කියල කියන්නෙ පින්වතුනි, හරියට හිමිහිට පටන් අරගෙන විශාල වේගෙන ගිහිල්ලා උච්ඡතම වෙලාවෙදි එකපාරටම එපා වෙලා යන එකක්. මන් ආයි කියන්නම් රාගයේ ස්වභාවය (ඔය ඇත්තන්ට මෙය ප්‍රායෝගිකයි) බොහොම පොඩි කාරණයක් තුළින් පටන් ගන්න නමුත් කාලයක් තිස්සේ වැඩෙනවා උදාහරණයක් හැටියට කාමරයකදී රාග සිතුවිල්ලක් ආවානම් කාමරයෙන් එලියට යනකොට ඒ රාග සිතිවිල්ල නැහැ අපි වෙන වැඩකට සම්බන්ධ වෙච්ච නිසා, නමුත් ආපහු කාමරේට එන විට සිතිවිල්ල අපි එනකන් බලන් ඉන්නවා. අපි එතනින් එහාට කල්පනා කරන්න පටන් ගන්නවා හීන මවන්න පටන් ගන්නවා. ඔහොම ඔහොම ගිහිල්ලා ගිහිල්ලා අර පෘථග්ජන මට්ටම තුල පෘථග්ජන ස්වභාවය තුළ ඔය කියන සිතිවිල්ල වැඩි වෙලා ඒ රාග කියන උච්චතම මට්ටමට ගිහිල්ලා මොනවා හරි කමක් නෑ බ්ලා බ්ලා බ්ලා වෙලා එකපාරටම විනාශ වෙලා යනවා. අපිට එපා වෙනවා. රාගයේ ස්වභාවය එහෙමයි. ද්වේශය ඔයිට වඩා වෙනස් ද්වේශයේ ස්වභාවය තමයි ඕකේ අනිත් පැත්ත. චූටි කාරණාවක් ඇති බොහොම සුළු කාරණාවක් ඇති මහා විශාල විදිහේ තරහවක් ඇතිවෙන්න, කෝපයක් ඇති වෙන්න කෝපගන්න. හැබැයි ඒක එකපාරටම ඒ තරම් විගහට තරහ ගියා උනාට ඒ තරහ එච්චර ඉක්මනට අඩු වෙන්නේ නැහැ, ඒක බොහෝම හෙමිහිට හෙමිහිට හෙමිහියි අඩුවෙලා යනනෙ. එතකොට රාගයේ ස්වභාවය තමයි චුට්ට චුට්ට පටන්ගෙන මහා විදිහට ගිහින් විනාශ වෙලා යන එක ද්වේශයේ ස්වභාවය තමයි එකපාරට විශාල විදිහට පටන්ගෙන පටන් ගෙන හෙමිහිට හෙමිහිට හෙමිහිට අඩු වෙලා යන එක එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මෝහය කියන්නේ පින්වතුනි ඔය දෙකේ සංකලනයක් හරියට ත්‍රිකෝණයක් වගේ. හොඳට බලන්න සාමාන්‍යයෙන් මෝහ සිතුවිල්ලක දිහා බලලා තේරුම් ගන්න පුළුවන්නම් ඔය ඇත්තෝ මතක් කරලා ආපස්සට ගිහිල්ලා බලන්න රාග සිතුවිල්ලක විතරක් ම ඉඳලා නැහැ.රාග සිතුවිල්ලක් මෙනෙහි කරනවා රාගයේම ඉන්නෙ නැහැ.

පනිනවා ද්වේශයටත් ඕකට දාගන්නවා ද්වේශ සංකල්පයකුත් එහෙම තමයි මේකේ රහ තියෙන්නේ. නැත්නම් හිතට දුවන්න එපා වෙනවා. ඒ හිත දුවන මාධ්‍ය ඒකයි රාගයට පැන්නා ද්වේශයට පැන්නා නමුත් ප්‍රධාන භූමිකාව රාගය හරහා යනවා වෙන්න පුළුවන්.             

ද්වේශයක් එනවනම් ඒකත් එහෙමයි. එයාගේ ප්‍රධාන භූමිකාව ඒ මොහොතේ ද්වේශය වුණත්, රාගයකටත් එබිකම් නොකර ද්වේශයට පවතින්න බැහැ.

 කොහොම නමුත් කමක් නැහැ භාවනාවේදී අපි ඔය කියාපු රාගය හෝ ද්වේශය හදා ගත්තොත් අවුල තියෙන්නේ මේකයි. ඒක කාලයක් ගන්නවා මේකෙන් නිදහස් වෙන්න. එතකොට අපි පටිඝයක් හදා ගත්තනම් ගැටීමක් හදා ගත්තනම් ඇහෙන ශබ්දයට හරි හිත දුවන එකට හරි ඒ හිතේ 

 හදාගත්ත ඒ මානසික සාධකයෙන් නිදහස් වෙන්න බොහොම කාලයක් වද වේදනා විඳින්න වෙන්න පුළුවන්. රාගයටත් එහෙමම තමයි.ඊට වඩා ලේසියි ඕකට සාදර වුනානම්. තියෙන්න දුන්නා නම්. ඇත්තටම කියනවා නම් අපි එතකොට ඒකට තියෙන ද්වේශය කියන දෙයින් නිදහස් වෙන්න භාවිතා කලෙත් රාගයක් වගේ එකක් තමයි. මොකද මෛත්‍රිය කියලා කියන්නේ රාග අනුශය කියලා ඔය ඇත්තෝ දන්නවා ඇති නමුත් අපි සාදර වෙනවා සාදර උනාට පස්සේ ඒකත් එක්ක තියෙන ගැටීමෙන් නිදහස් වෙනවා.

මොකද? කරන්න තියෙන ටික මේ වෙද්දි සිද්ද කරලා තියෙනව. නමුත් තවත් කොටස් වගේක ඉතුරුවක් තියෙනවා භාවනාව තුල සහ සූත්‍රය තුල. 

අපි මුලටම ගිහිල්ලා බැලුවොත් ආවර්ජනය කරන්න පුරුද්ද තියෙනවා නම්, සිහියේ ලක්ෂණ මතක් කරන්න පුළුවන්. එහෙම එකක් තමයි ඔය කියන ප්‍රත්‍යවේක්ෂාව.

 සද්දයක් ඇහෙනකොටම හෝ සිතුවිල්ල දුවන කොට ඒ ඇහිච්ච සද්දයට හෝ ඒ ගියපු සිතිවිල්ලට හරි අපි මනාපයක්,කැමැත්තක් දක්වලා තිබුනනම් මොකද කියන්නේ අපිට ඕනකමක් තිබ්බට ආනාපානයට යන්න අපේ හිත යයිද අර සද්දෙන් අහකට? අපේ හිත යයිද අර සිතිවිල්ලෙන් අහකට?,...........….......

 ............

 .. යන්නේ නැහැ , ඇයි ? අපේ හිත තුල මනාපයක් තියෙනවා. යම් විදිහකට රාගයක් තියනවා ඔය කියන සද්දය කෙරෙහි හෝ සිතිවිල්ල කෙරෙහි. ඉතින් ඔය ඇත්තන්ට උපදෙස් දුන්නා ඒ සද්දයට හෝ සිතිවිල්ලට සාදර වෙන්න කියලා. එහෙම නැත්නම් මෛත්‍රී සහගත ලීලාවෙන් එය ස්පර්ශ කරන්න කියලා..... එහෙම නොවෙනතාක් කල් අපේ පොදු පුරුද්ද තමයි ඕකට ගැටෙන එක, අමනාප වෙන එක. එහෙම සිදු වෙන ඒකෙත් ප්‍රශ්නෙ මේකයි. මේ සූත්‍රය අංගුත්තර නිකායෙ තියෙන්නෙ. පින්වතුනි රාගය කියල කියන්නෙ, හිමිහිට පටන් අරගෙන විශාල වේගෙන ගිහිල්ලා උච්ඡතම වෙලාවෙදි එකපාරටම එපා වෙලා යන එකක්. මන් ආයි කියන්නම් රාගයෙ ස්වභාවය ඔය ඇත්තන්ට මේක ප්‍රායෝගිකයි. රාගය බොහොම පොඩි කාරණයක් හින්දා පටන් ගන්න නමුත් කාලයක් තිස්සේ වැඩෙනවා. උදාහරණයක් හැටියට කාමරයකදී රාග සිතුවිල්ලක් ආවානම් කාමරයෙන් එලියට යනකොට ඒ රාග සිතිවිල්ල නැහැ. මොකද අපි වෙන වැඩකට සම්බන්ධ වෙච්ච නිසා..... නමුත් ආපහු කාමරේට එනකොට ඒ පරණ සිතිවිල්ල අපි එනකන් බලන් ඉන්නවා. අපි එතනින් එහාට කල්පනා කරන්න පටන් ගන්නවා. හීන මවන්න පටන් ගන්නවා. ඔහොම ඔහොම ගිහිල්ලා ගිහිල්ලා අර පෘථග්ජන මට්ටම තුල පෘථග්ජන ස්වභාවය තුළ ඔය කියන සිතිවිල්ල වැඩි වෙලා ඒ රාගයේ කියන එකේ උච්චතම මට්ටමටත් ගිහිල්ලා මොනවා හරි කමක් නෑ බ්ලා බ්ලා බ්ලා වෙලා එකපාරටම

 විනාශ වෙලා යනවා. එපා වෙලා යනවා. රාගයේ ස්වභාවය එහෙමයි. 

ද්වේශයට ඔයිට වඩා වෙනස් ස්වරූපයක් තියෙන්නෙ. ද්වේශයේ ස්වභාවය තමයි ඕකේ අනිත් පැත්ත. චූටි කාරණාවක් ඇති, බොහොම සුළු කාරණාවක් ඇති, මහා විශාල විදිහේ තරහාවක් ඇතිවෙන්න. කෝපයක් ඇති වෙන්න. කෝප ගන්න. හැබැයි ඒක එකපාරටම ඒ තරම් විගහට තරහ ගියා උනාට ඒ විගහට තරහ අඩු වෙන්නේ නම් නැහැ. ඒක බොහෝම හෙමිහිට හෙමිහිට හෙමිහිටයි අඩුවෙලා යන්නෙ.

 එතකොට රාගයේ ස්වභාවය තමයි චුට්ට චුට්ට පටන්ගෙන මහා විදිහට ගිහින් විනාශ වෙලා යන එක. ද්වේශයේ ස්වභාවය තමයි එකපාරට විශාල විදිහට පටන්ගෙන පටන් ගෙන හෙමිහිට හෙමිහිට හෙමිහිට අඩු වෙලා යන එක.දැන් එතකොට අපිට තේරුම් ගන්න

 පුළුවන් මෝහය කියන්නේ පින්වතුනි ඔය දෙකේ සංකලනයක්. එකතුවක්. හරියට ත්‍රිකෝණයක් වගේ. හොඳට මතක් කරල බලන්න සාමාන්‍යයෙන් මෝහ  

සිතුවිල්ලක සිතිවිලි දිහා තේරුම් ගන්න පුළුවන්නම් ඔය ඇත්තෝ මතක් කරලා ආපස්සට ගිහිල්ලා බලන්න,  

අපි රාග සිතුවිල්ලක විතරක් ඉඳලා නැහැ.

මං මීට කලින් කිව්වා රාග සිතුවිල්ලක ඉන්නවනම් රාගයේම ඉන්නෙ නැහැ

 පනිනවා ද්වේශයටත්.ද්වේශ සංකල්පයකුත් ඕකට දාගන්නවා. එහෙම තමයි මේකේ රහ තියෙන්නේ. නැත්නම් හිතට දුවන්න එපා 

වෙනවා. ඒක තමා හිත දුවන මාධ්‍ය, හිත දුවන රටාව ඒකයි. රාගයට පැන්නා ද්වේශයට පැන්නා නමුත් ප්‍රධාන භූමිකාව රාගය හරහා යනවා වෙන්න පුළුවන්. ද්වේශයක් එනවනම් ඒකෙත් එහෙමම තමයි. එයාගේ ප්‍රධාන භූමිකාව ඒ මොහොතේ ද්වේශය වුනත් රාගයට පනින්නේ නැතිව තියෙන්න බැහැ.

කොහොම නමුත් කමක් නැහැ භාවනාවේදී අපි 

ඔය ද්වේශය හදාගත්තොත් අවුල තියෙන්නේ මේකයි. ඒක එකපාරටම වැඩියෙන් හැදිල කාලයක් ගන්නවා මේකෙන් නිදහස් වෙන්න එතකොට අපි පටිඝයක් හදා ගත්තනම්, ගැටීමක් හදා ගත්තනම්, ඇහෙන ශබ්දයට හරි, හිත දුවන එකට හරි, ඒ හිතේ 

හදාගත්ත ඒ මානසික සාධකයෙන් නිදහස් වෙන්න බොහොම කාලයක් වද වේදනා විඳින්න වෙන්න පුළුවන්. ඊට වඩා ලේසියි ඕකට සාදර වුනානම් වුනා නම්. ඇත්තටම කියනවා නම් අපි එතකොට ඒකට තියන ද්වේශයෙන් නිදහස් වෙන්න භාවිතා කලෙත් රාගයක් වගේ එකක් නම් තමයි. ඇත්තම කතාව ඒ මට්ටමට ගිය එකක් මොකද මෛත්‍රියට රාග අනුශය තියෙනවා කියලා ඔය ඇත්තෝ දන්නවා ඇති. නමුත් අපි සාදර වෙනවා සාදර උනාට පස්සේ ඒකත් එක්ක තියෙන ගැටීමෙන් අපිව නිදහස් වෙනවා.

ගැටීමෙන් නිදහස් වුනාට පස්සේ අපිට හිත ගන්න ලේසියි . සාමකාමී හිතක් තියෙන වටපිටාවක් හින්දා ආපහු හිත එනවනම් ශරීරයට ගෙන්න ගන්න ලේසියි.

 එතකොට ඔය කියන සිතිවිල්ලට රාගයක් නැත්නම් කැමැත්තක් ඇති වෙලා තිබ්බා නම් කොහොමත් ඒ සිතිවිල්ලට හිත යනව. ඒවගේම ඔය සිතිවිල්ලට හෝ සද්දෙට තරහ ඇතිවෙලා ඇති වෙලා තිබ්බා නම් එහෙම........... "මං මෙහෙම එකක් කිව්වොත් පිලිගනීද දන්නේ නැහැ අපි ද්වේශයටත් රාග කරනවා"........ ඒ සිතිවිල්ල එහෙම යන එක අපට අවුලක් තමයි ඒ උනාට යන එක ගැන අපි බලාපොරොත්තු වෙනවා. හරියටම කිව්වොත් .........."ඊයෙත් එහෙම වුණා, අදත් ඕකමයි වෙන්නේ මං දන්නවා හොඳටම".......... මේ විදිහට අපි ඕන තරම් බලාපොරොත්තුවෙන් හිතලා ඇති. 

මේක සිද්ධ වෙන විදිහට තව උදාහරණයක් ගත්තොත් කවුරු හරි කෙනෙක් එක්ක තරහ වුණා කියමුකො. දැන් මම නම් තරහ උනේ වෙන කවුරුහරි කෙනෙක් එක්ක නම් ඒ අනිත් එක්කෙනාව පුළුවන් තරම් තරහා ගස්සන්නමයි බලන්නේ. පුළුවන් තරම් එයාව ප්‍රකෝප කරවන්න, කරදරයට ලක් කරන්නමයි උත්සාහය. මොකද මට තරහ තියෙන නිසා. එත්කොට මන් සතුටු වෙන්නෙ තරහෙන්. මේ වෙලාවේ එතකොට බලන්න ද්වේශයට මයි රාග කරන්නේ.

 හැබැයි ඔය ද්වේෂයට විරාගයක් හදා ගත්තනම් ඒ ප්‍රශ්නයෙන් නිදහස්.අන්න ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ විරාගය හැම ධර්මතාවක් අතරින්ම ශ්‍රේෂ්ඨතම ධර්මතාවය කියල. මොකද මේක හැම තැනකම තියෙනවා. 

එත්කොට බලන්න භාවනාව තුළ අපි මූලික කියන කොටස් ටික කරගෙන කරගෙන ගිහිල්ලා ධම්මානුපස්සනා කොටස ස්පර්ශ කරනකොට මම ඔය ඇත්තන්ට උපදෙස් දුන්නා ආපස්සට මතක් කරන්න කියලා. මතක් කරගෙන යනකොට ඔන්න අහුවෙන්න ගන්නවා. ආ...ඔය ධම්මානුපස්සනා කොටස් මේ කෙලවරකදි නෙවෙයි කරන්න ඕන.භාවනාවේ මුලදිත් වෙලා තියනව කියල. භාවනාව පටන් ගත්ත කාලෙ ඉදලාම වෙලා තියෙනවා කියලා.

 ඒ කිවුවේ භාවනාවේ මුලක ඉඳලම තිබිච්ච ප්‍රශ්න වලින් නිදහස් උනේ විරාගය දැනගත්තහන්දයි. ඒ දේවල් නැවත ඇතිවීම නතර කරන්න ඕනේ කියලා අදහසට ආපු හින්දයි නිදහස් වුනේ. එහෙම නැත්නම් නිරෝධීමය අදහසක් තිබිච්ච හින්දයි අපිට ඔය කියන සද්දෙන් නිදහස් වෙන්න පුළුවන් වුණේ, සිතිවිල්ලෙන් නිදහස් වෙන්න පුළුවන් වුණේ, ශරීරය මතට පතිත වෙන්න පුළුවන්කම තිබුණේ. ඒ වගේමයි ඒ ඇහෙන ශබ්ද තුල අපි හිතාගෙන හිටියට ඊයෙත් ඇහුණා අදත් ඇහුණා හෙටත් ඇහෙනවා කියන නිත්‍ය සංඥාවෙන් ගන්නේ නැතුව හොඳට අවදානමත් වෙලා බලන්න ශබ්දය ඊයෙට වඩා අද වෙනස්. 

අන්න ඒ විදිහට වර්තමානයේ තිබිච්ච දේ තේරුම් ගත්තා නම් ඔය අපේ සිද්ධි කරල තියන අනිත්‍යතාවය කියන එක දැනගන්න එකම තමයි. ඊටපස්සෙ ඇවිල්ල තියෙන්නෙ ආනාපානය හොයාගෙන තමයි. සිතුවිල්ල හෝ ආපු ශබ්දය අතහරින්න පුළුවන් කමක් හදාගත්ත වෙලාවට විතරයි, අතහැරපු වෙලාවට විතරයි, ආනාපානය තියෙන පැත්තකට අපිව ගෙනියන්නෙ. 

බලන්න ධම්මානුපස්සනාවේ ඔය කියන අනිච්චානුපස්සි අස්සසිස්සාමිති සික්ඛති පස්සසිස්සාමිති කියන එකත්, විරාගානු පස්සි කියන කොටසත්, නිරෝධානුපස්සි කියන කොටසත්, පටිනිස්සග්ගනුපස්සි කියන මෙන්න මේ කාරණා හතරම පින්වතුනි අපි අපේ භාවනා මුල ඉඳලම අරගෙන ඇවිල්ල තියෙනව.

 මතකද දන්නේ නැහැ ඔය ඇත්තන්ට මන් එකතැනකදි කිව්වා ඇත්තටම අපට කරන්න තියෙන්නේ ඒ සිහියට ප්‍රධාන තැන දීලා ඉන්න එක විතරමයි කියලා. ඒකත් එක්ක හරියටම ගැලපෙනවා නේද ? අර "නචේතනාය කරණීයං ඒසෝ ධම්මාති" කියන දහම් පදය. මේක චේතනාත්මකව කරන්න තියෙන දෙයක් නෙමෙයි ධර්මතාවයක් හැටියට සිද්ධ වෙනවා.

 නමුත් අපි හඟිනවා, හිතා ගන්නවා, මේ ධර්මයේ මහා ලොකු ගැඹුරක් තියෙන ඕන කියලා. ඒ ගැඹුරට යන්න ඔන්න පොත්පත්වල තියෙන දැනුම යොදාගන්න බලනවා. වැඩිපුර එව්ව දාගන්නව, තර්ක හදාගන්නවා මහා කාරණා ගොඩක් දාගන්නව මේක අස්සෙ. හැබැයි ඒ වුනාට අපිට මේකේ ගැඹුර හම්බ වෙන්නේ "ඒක තියන තැනමයි". "මූලං උප පරික්කිතබ්බං" මුලට වෙලා ඉන්න එකේමයි තියෙන පිලිතුර. නමුත් අපි ඒකට කැමැති නැහැ. පසුගිය ටිකේ ඔය ඇත්තෝ අහපු සමහර ප්‍රශ්නවලදී මං ඒ ඇත්තන්ට දුන්න උපදේශය තමයි. ඔය කියන කෙළවරක ඉන්නව කියල හිතනව නම් කරුණාකරලා මුල ඉඳන් පටන් ගන්න කියලා. ඒක භාවනා ගමන තුළ පහලට කඩාවැටීමක් නෙවෙයි. ඒකයි භාවනාවේ ඊළඟ පියවර. 

දැන් ඔය ඇත්තන්ට තේරුම් ගන්න පුළුවන් ආපසු මුල ඉදන් පටන් ගන්න කියන ඒකෙ තේරුම. ඉතින් සතිය වැඩීම තුල ඔය ඇත්තො ආනාපාන සති භාවනාව දිගටම කරගෙන ගියානම් ඔය කියාපු කාරනාවල් කාරණාවල් ස්පර්ශ කරලා තියෙනවා නම් ඊලගට කරන්න තියෙන්නේ මුල ඉදලා පටන් ගන්න එක තමයි .හැබැයි ඒක කරන්න බැහැ මොකද

 අපිට තියෙන පෙල දැනුමක් තියෙනවනේ. අපි විශ්වාස කරන විදිහකුත් තියෙනවනේ. විශේෂයෙන්ම ඉවසීමකුත් නැහැනේ ඒකයි

මේකෙ තියන ප්‍රධාන ගැටලු ටික . හැබැයි භාවනාවේ මුල ඉදලා එනකොට ඔය කියන ධම්මානුපස්සනාව සිද්ධ වුණා නම් ඇයි අපිට මේක අල්ලන්න බැරි? 

අර සද්ද එක්ක ප්‍රශ්න කරපු වෙලාවේ සද්ද එක්ක ගැටිච්ච වෙලාවේ හෝ සිතිවිලි එක්ක ගැටිච්ච වෙලාවේ ඇයි අපට මේක අල්ලන්න බැරි වුනේ,එකට හේතුව තමයි ඒ දේවල් අල්ලන්න පුළුවන් වුණ තරමේ ඉවසීමක් හිතේ තැන්පත් බවක් අපට තිබ්බෙ නැහැ. තවත් විදිහකට කියනවා නම් සමථයක් තිබ්බෙ නැහැ තවත් විදිහකට කියනවා නම් සමාධියක් තිබ්බෙ නැ. ඒ වෙනුවට අපි වටා තිබ්බේ අපේ දැනුම, අපේ උවමනාවන් , බලාපොරොත්තු , විශේෂයෙන්ම හදිස්සිය, එපා වීම, සැප හෝ දුක් වේදනා..... ඔය වගේ අර විවිධාකාර සංඝටක වලින් වැහිලා තිබ්බා .මේ තමයි ගමනෙ ආපු ධර්මතා ටික. ඒ ධර්මතා ටික 

හින්දා තමයි අපි මේ ගමන මෙච්චර දුරක් ඇවිල්ලා තියෙන්නෙ. නමුත් ඒ වගෙන් ප්‍රයෝජනයක් ගන්න හෝ ඒවා තියන විත්තිය 

දැනගන්නවත් අපිට බැරි කමක් තිබිලා තියෙනවා ඒ කාලේ. හැබැයි දැන් අපිට අවස්ථාව එනවා ඒ කාරණා නැවත වතාවක් දැනගන්න.පින්වතුනි එතකොට මෙච්චර දීර්ඝ ගමනක තේරුම තමයි ආනාපානා සතිය තුළ ඔය කියන කරුණු කාරණා දාසයම බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නේ ඔය කියන දාසය පුරාවටම ගිහිල්ලා තමයි ඕක අල්ලන්න වෙන්නේ. ඒ විදියට අපි එක සිද්ධ කළේ නැත්නම් ඒ හිත අස්සෙ තියෙන ඔය ඔය ගැටේ ලියන විදිහ ගැන වෙන කියලා දෙන්න ක්‍රමයක් නැහැ. ඒ අතින් බලන්න බුදුපියාණන් වහන්සේගේ දේශනාව කොයි තරම් නම් ශ්‍රේෂ්ඨ ද?

දැන් අපිට හම්බ වෙනවා අර මං මුලින් කියපු අර යුගනන්ද ක්‍රමය ගැන අලුත් අදහසක් මොකක්ද සමථ ක්‍රමයත් විපස්සනා ක්‍රමයත් දෙක එකට වඩන්න දැන් ඔන්න අපිට පොට පෑදීගෙන එමින් පවතිනවා. මුලින්ම අපි විපස්සනාවට දාගත්තෙ අර තමන්ගෙ තියෙන

 බලාපොරොත්තු උවමනා එපාකම් කියන මමත්වයෙන් ඇඟිලි ගහන දේවල් ඒවාගෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන විදිහේ

 අදහසක්, දර්ශනයක් ඇති කර ගන්න එක තමයි. දැන් ඊලග විදිහකින් වගේ අපේ හිත නිදහස් වෙනවා නම් විරාගය ඔස්සේ හෝ නිරෝධය ඔස්සේ හෝ අනිත්‍යතාවය ඔස්සේ හෝ පටිනිස්සග්ගය කියන්නෙ අතහැරීම ඔස්සේ හෝ දැන් අපිට ඒක ස්පර්ශ කරන අවස්ථාවක් එනවා. මේ කාරණා හතර මම විශ්වාස කරන හැටියට එකම කාරණාවක හතර පැත්ත. හැබෑයි මේ හතර දෙනා එකිනෙකාට උදව් කරනවා. මං ආයෙත් වගකීමෙන් කියනවා. මේක එකම කාරණාවක හතර පැත්තක් වගේ ඒ හතර දෙනා හතර හතරදෙනාට උදව් කරගන්නවා.

අනිත්‍යතාවය හින්දා විරාගය අල්ලන්න ලේසි වෙන්න පුළුවන් ඒක ඒ හින්දා අත හරින්න පුළුවන් එහෙමත් නැත්නම්

අත්හැරීම කරන්න ඕන හින්දම විරාගයට යන්න පුළුවන් ඒක හින්දාම නිරෝධයට යන්න ඕනේ වෙන්න පුළුවන් ඒක හින්දාම

 අනිත්‍යයි කියලා වෙනස් කරලා දාන්න පුළුවන්. අන්න ඒ වගේ මේ හතර දෙනා එකිනෙකාට උදව් කර ගන්නවා කියලා විශ්වාස 

 කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ ක්‍රමයක් එක්ක තමයි පින්වතුනේ අපි භාවනාව අභ්‍යන්තරිකව පුරුදු කරන්න, සිද්ධ කරන්න ඕනේ. 

මොනවද උදාහරණයට ගත්තොත් හුස්ම දකින එකයි හිත දුවන එකයි විතරයි

  නමුත් අර කියපු කාරණා ඔක්කෝටම ඕක භාවිතා වෙලා තියෙන විත්තිය අපි නුවණින් දකින්න ඕනි. ඒ කොහොමද කිව්වොත් ඇහෙන ශබ්දයට අකැමැත්ත ඇතිවෙන තුරු හෝ එම ශබ්දයට නැවත නොයෑමට හිත නෑමුනහම හෝ එම ශබ්දයේ ඇති වෙනස්වන සුළු ස්වභාවය දැක්කොත් හෝ එම ශබ්දයට ඇති මනාය බැහැර උනොත් විතරයි ඒ ශබ්දයෙන් බැහැර වෙලා ආනාපාන සතියට එන්න පුළුවන් වෙන්නෙ. එතකොට මේ ධම්මානුපස්සනාවේ දී අපි භාවනාවේ මුලටයි ඇවිල්ල තියෙන්නේ. කොහොම නමුත් අන්න ඒ විදිහේ සිහියක් පරිපූර්ණ හැටියට පුරුදු කරපුවාම තමයි අර සතර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ගරු ගාම්භීර අර්ථයට අපිට කිට්ටු වෙන්න පුළුවන් වෙන්නෙ. " සෝක පරිද්දවානං  

    සමතික්කමාය - දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය" ඔය කියන කරුණු 

    ඔක්කොම ටික සාක්ෂාත් කරගන්න පුලුවන් තැනට අපිව පමුණුවනවා. මොකද අපේ භාවනාව තුළ දකිනවානම් විරාගය නිසා නිදහස් වෙච්ච බව නිරෝදය නිසා නිදහස් වෙච්ච බව අනිත්‍යතාව නිසා නිදහස් වෙච්ච බව හා අතහැරීම නිසා නිදහස් වෙච්ච බව දන්නවා නම් ඒකම තමයි සාමාන්‍ය ජීවිතය තුළදී ඇහෙන් දකින රූපයකට කනට ඇහෙන සද්දයකට නාසයට දැනෙන ගඳ සුවඳට දිවට දැනෙන රසට ශරීරයට දැනෙන ස්පර්ශයට හිතට එන අරමුණට ක්‍රියාත්මක විය යුතු වන්නේ.

   නමුත් ගැටළුව ඉතින් අපේ තියෙන දැනුමට අපි ඕක බාහිරව කරන්න යනවා. හිතන්න යනවා. ක්‍රියාත්මක කරන්න යනවා. ඒක වැඩ කරන්නේ නැහැ ගොඩක් වෙලාවට හේතුව අභ්‍යන්තරව අපි මේක ස්පර්ශ කරල නැති හින්දා. ඉතින් දේශනාවේ අපිට කියලා දෙනවා මේ කියන ගැඹුර දකින්න කියලා එතකොට අපි මේ හිතන ගැඹුරට වඩා වෙනස් ගැඹුරකුයි මෙතන තියෙන්නේ. ඒක මේ මොහොත තුල තියෙන ගැඹුරක් ,මේ මොහොත තුළ අපිට ඇහෙන්නේ සද්දෙ නම් එච්චරයි .මේ මොහොතේ ඇහෙන සද්දෙට අපි මනාප නැහැ. ඕක වෙනුවට අලට මොකද කරන්න ඕන මට තියෙන්න ඕනේ ආනාපානය කියලා හිතෙනවා එතකොට ආනාපානය කාරණා දාසයක් තියෙනවා කියලා දන්නවා. දැන් එත්කොට බලාපොරොත්තු වෙන දෙයත් එකතු උනාම දාහතක් තියෙනවා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන නිවන තියෙන්නෙ ඔය කාරනා දාහතකින් පස්සේ කොහොමද අපිව ගිය දුර ,නමුත් තථාගතයන් වහන්සේ අපට පෙන්නන සතිපට්ඨානය තුළ වෙන කොහේවත් උත්තර නැහැ ප්‍රශ්නය බලන්න පෙන්නනවා විතරයි. අරගෙන බලන්න සූත්‍රයේ ඕන තැනක්. අන්න එහෙම උනහම එතනදී කියන්න පුළුවන් නේද "නච කිංචි ලෝකේ උපාදියති " කියලා . මේකේ අල්ලලා ගන්න දෙයක් නැහැ.

        එතකොට මෙ අපි ඇවිල්ලා තියෙන්නෙ අපේ භාවනාවේ මූලිකම කොටසටම තමයි මං හැමදාම ගරු කරන වචනයක් වෙච්ච

         "පරිමුඛං සතිං උපටඨපෙත්වා " කියන තැනටයි අපි මේ ආපස්සට ඇවිල්ලා තියෙන්නෙ . මං ඒකයි ධර්ම සාකච්ඡාවට බය නැතුව අත ගැහුවේ. මොකද සතිපට්ඨානය හරහා කතා කරනකොට ඇත්තටම කරන්න තියෙන දේ " මුලට එක්කන් එන එක " විතරයි.     

          අපි ගොඩක් උඩ ඉන්නේ ,නමුත් රහතන් වහන්සේලා වෙච්ච සැරියුත් මහරහතන් වහන්සේලා එහෙම උන්වහන්සේලා දූවිල්ල වගේලු , උන්වහන්සේලා පාපිසි වගේලු , මහ පොළොව වගේ ලු , අන් කැඩිලා ලු ,අපි හිතුවට වඩා වෙනස්.

 අපි ගොඩක් ධර්ම කාරණා දන්නවා සහ සමහර වෙලාවට ඒවා ධර්ම ආයුධ වගේ. නමුත් ප්‍රශ්නෙ මේකයි හරියට පාවිච්චි කරන්න

 දන්නේ දන්නෙ නැති හින්ද තමන්වත් අන් අයවත් කපා කොටා ගන්නවා. ඒ වගේ දේවලුත් තියෙනවා. මොකද මේක ගැඹුර හැටියට වෙන මොනවහරි පොත්පත්වල තියෙන නිකං අත්භූත විදිහෙ කාරණාත් දාගන්න හිතන්න පුළුවන්. මොනවදෝ තේරෙන්නෙ නැති දේකට හිත යොමු කරන්න බලනවා. හැබැයි මේකේ අස්සේ ලොකු ගැඹුරක් තියෙනවා. අපි මේ වර්තමාතය තුළ දකින දේ තුළම නොදකින ගැබුරක් තියෙනවා.

 අපි මේ දන්න කාරණය තුළ දකින කාරණය තුල මොහොතක් නතර වෙන්න පුළුවන් නම් ඒ කියන දේට අපිට එන්න පුළුවන්නම්, මේ දකින දේ තුළ නැත්නම් මේ මොහොත තුළ මේ පවත්නා දේ තුළ සිහිය පවත්වන්න පුළුවන්. ඒකට කියන්නද ? "යථාලාභ සන්තුට්ඨි " කියන මානසිකත්වයට ඇවිල්ල තියෙන්නෙ කියලා. ඒ කියන්නේ " ලැබෙන දෙයින් සතුටු වෙනවා". "ලද දෙයින් සතුටු වෙනවා". වෙනත් බලාපොරොත්තු මුකුත් නෑ.ඔය කියන මනසින් ඉන්න කෙනෙක් අර අනුරුද්ධ මහ රහතන් වහන්සේගේ මහරහත් වෙන්න කලින් මං විශ්වාස කරන්නේ මේ සූත්‍රය කියලා තියෙන්නේ, උන්වහන්සේගේ අර මහාපුරුෂ විතක්ක සූත්‍රය අරගෙන බැලුවොත් එහෙම, ඒකෙදි උන්වහන්සේ කියන කාරණේ. " සංතුට්ඨායං ධම්මෝ නායං ධම්මෝ ආසංතුට්ඨස්ස " " මේ දහම තියෙන්නේ ලද දෙයින් සතුටු වන කෙනාට මිසක් ලද දෙයින් සතුටු නොවන කෙනාට නොවේ " කියන කාරණය අපිට කියන්න පුළුවන් කමක් ලැබෙයි නේද? අපේම අත්දැකීමක් හැටියට. ඒක උන්වහන්සේගෙම අත්දැකීමකට වඩා ඇත්තටම අපිටත් ජීවමානවන, අපේ අත්දැකිම් 

ගොන්නක් හැටියට පෙනේවි. මේ මොහොත තුල තියෙන දෙයින් සැනසෙන්න බැලුවහම අනිත් හැම ප්‍රශ්නයක් විසදිලා යනවා.

 නමුත් බලන්න කොච්චර දාර්ශනිකද කියලා බුදුපියාණන් වහන්සේ, අනුරුද්ධයන් වහන්සේගේ ඔය සිත දැකලා තව එකක් එකතුකරනවා, පොඩ්ඩක් ඉන්න තව එකක් ඕකට එකතු කරන්න ඕනේ කියලා. ඒ මොකක්ද " නිප‍්පපඤ‍්චාරාමස‍්සායං ධම‍්මො නිප‍්පපඤ‍්චරතිනො, නායං ධම‍්මො පපඤ‍්චාරාමස‍්ස පපඤ‍්චරතිනොති ".ප්‍රපංච වලින් නිදහස් වන කෙනාටයි මේ දහම ප්‍රපංච කරන කෙනාට නොවෙයි. එතකොට දැන් ඔය ඇත්තන්ට තේරුණාද ප්‍රපංච වලින් නිදහස් වුණා කියන්නේ මොකක්ද කියලා ,.......අපි හිතන්නේ අපි කරන දේ ධර්මානුකූල යි කියලා හිතලා, ධර්ම කරුණු ප්‍රපංච කරන එක නේද ?.........යමක් සිදු උනහම ඒක වටා ගෙතිච්ච ධර්මයේ කාරණා හිතනව. වැරදිම නෑ නමුත් දැන් තේරුනාද නිවැරදිත් නෑ කියලා. මොකද ඔය දහම් සිතිවිල්ලෙනුත් බැහැර විය යුතු වෙලාවක් එනවා. එතකන් ඒක තියෙච්චාවයි නමුත් ඉන් මත්තට ඒකත් නූමනයී. එතකොට බලන්න අපි හිතාගෙන ඉන්න ක්‍රමයට වඩා වෙනස් කතාවකූයි කරන්න තියෙන්නේ. මේකේ සම්පූර්ණම පැහැදිලිව කිව්වොත් " යන්නේ ආපස්සට ".

 ඉතින් ඒ විදිහට මේ හිත අපිට පුරුදු කරන්න පුළුවන් අර කියන විදිහට උපාදානයක් නැති විදිහේ හිතක් හදා ගන්න පුළුවන්කම

 හම්බ වෙනවා කියන්නේ ඉතින් උපරිම දක්ෂයාට දවස් හතයි , අඩුම තරමේ එක වැඩේ,.... එක වැඩේ ඉවරයක් කරන පුද්ගලයාට අවුරුදු හතයි කියලනෙ. එතකොට බලන්න අපි ගැඹුරට යන්නේ මේ අපි ඉන්න තැනමයි. එතකොට අපි භාවනාවේ කොච්චර 

දුරට ගියා කියලා හිතුවත් කොච්චර ඈතට ගියා කියලා හිතුවත් ආපස්සට එන්න ඕනි. අපි ගාවටමයි මේ මොහොතටමයි පටන් 

ගත්ත තැනටමයි පටන් ගත්තහරියටම තමයි එන්න ඕන. ඕකටයි නිහතමානී වෙනව කියන්නෙ. ඔය පටන් ගත්ත හරියට එන්න කියලා කිව්වහම මට කතාවක් මතක් වුණා.

මං ඉස්කෝලෙ යද්දි පන්තියේ පොඩිම එකා. මාව අදටත් ගොඩක් කට්ටිය අදුරන්නේ බට්ට කිවුවාම..... හැබැයි ප්‍රමාණයෙන් පොඩි උනාට මට ගොඩක් වැඩ පුළුවන්. ක්‍රීඩා කරන්න හරිම කැමැත්තක් තිබුණේ. ඒ කාලේ මට මතකයි උස පනින තරඟයක් තිබ්බා. මගේ තව යාළුවෙකුත් ඒකට හිටියා. එයා ඒකෙන් දිනුවොත් එයාට චැම්පියන් වෙන්න තිබුන. හැබැයි එයාට තවත් තරග ඉතිරි වෙලත් තිබුනා. මට තරඟයකට කියලා තිබ්බේ ඔය කියාපු උස පැනීමේ තරගය විතරයි. අපි දෙන්නා හිටියේ වෙන වෙනම නිවාස දෙකක. මයුර, පරෙවි, මොනර කියන ඒ වගේ නම් තමයි තිබ්බෙ ඒ කාලේ. ඊට පස්සේ එයා මගෙන් ඇවිල්ලා ඇහුවා එයාට චැම්පියන් එක 

ගන්න දෙන්න කියලා. හැබැයි එයාට තව තරඟ වගයක් ඉතිරි වෙලත් තිබුණා. මං කිව්වා ඔයාට චැම්පියන් එක ගන්න පුළුවන් තව තරග තියෙනවනේ, මම මේකෙන් පුළුවන් තරම් උත්සාහ කරන්නම් ඔයා ඔයාට පුලුවන් උපරිම උත්සාහ කරන්න කියලා. ඒකියන්නේ මම බෑ කිවුව.

කොහොමහරි උස උසපැනීමේ තරගයෙන් මම පලවෙනියා,මට මේකට හරි සතුටුයි. ඉතිං ගොඩක් ලොක්කා වගේ හිතාගෙන ගෙදර ගිහින් අම්මට රහ කරලා කිව්වා කතාව ,අපේ අම්මා ඒ කාලේ වෙද්දි මං හිතන්නේ නැහැ සූත්‍ර කියවලා ඇති කියලා දැන් නම් කියවල තියෙනවා , මගෙ කතාව අහගෙන හිටිය. ඔක්කොම ටික අහගෙන ඉඳලා කිව්වා ලොකු පුතා මතක තියාගන්න, "පොල් ගහ කොච්චර උස ගියත් පොල් ගෙඩි වැටෙන්නේ මුලට. " 

පසුකාලීනව මට තේරුණා භාවනාවේදීත් ඕකම තමයි වෙන්නේ කියලා. අපි හිතාගෙන හිටියට මේකෙ ගොඩක් දුර ගිහිල්ලා කියලා, නෑ මේකේ "මුල ඉන්නකොටයි හරියන්නනෙ".... මුලටයි එන්න ඕන. එතනයි රහ තියෙන්නෙ. එතනයි සැනසීම තියෙන්නෙ. 

ඔය එක එක තැන් නැතිනම් මට්ටම් කියන්නේ, හිතේ හදාගත්ත සංකල්ප විතරයි. ඇත්තටම කියනවා නම් ප්‍රපංච විතරයි. ඊට වඩා මේ මොහොත තුළට වෙලා සතිය තියාගන්න. මේ මොහොතේ සිහියෙන් ඉන්න. අන්න එහෙම වුනා නම් ඔය කියන කාරණා ටික විසඳිලා යන්න පටන් ගනියි.

 ඉතින් ධර්මයේ ගැඹුර කියන දේ තේරුම් ගන්න උත්සහ කලොත් එහෙම, ඔය කියන අනිත්‍ය තාවය තුළින් නිදහස් වෙන්න ඕන වෙලාවට අපේ හිත අපිට මතක් කරදේවි දැන් අනිත්‍යතාවය තුළින් නිදහස් විය යුතුයි කියලා, විරාගයෙන් නම් විරාගය තුළින් ඒක වෙන්න ඕනේ කියලා, නිරෝධය නම් එහෙම නැත්නම් නැවත හට ගැනීම නැති කරන්න ඕනේ කියන තැන ඉඳන් කියලා සහ අතහැරීමෙන් නම් ඒක තුළින් කියලා අපිම ඉගෙන ගනීවි. අපිම ඉගෙන ගනීවි.

     භාවනාව තුලදී එහෙම ඉගෙන ගත්ත දවසක අපිට පුළුවන්කමක් හම්බවේවි සාමාන්‍ය ජීවිතයේදී පවා භාවිතා කරන්න. ඇත්තටම කියනවා නම් " ඒ දේ භාවිතා වේවි ". මට ඒකයි ඔය ඇත්තන්ට කමටහන් වාර්තාව ගැන ඔච්චරටම කියන්න උවමනා උනේ. මොකද අපි කල නොකළ දේ අපිම දැකගත යුතුයි..     

අපි බලමු මේ පුහුණුව තුළ බලාපොරොත්තු වෙච්ච සාමාන්‍ය ජීවිත ප්‍රශ්න වලටත් කොහොමද මුහුණ දෙන්නේ කියලා , ඔය ඇත්තෝ කියාපු භාවනා අත්දැකීම් බොහොම හොඳයි. මල් කඩනකොට මෙහෙම සිහිය පැවැත්තුවා, එදිනෙදා වැඩ කරද්දි සිහිය පැවතුනේ මෙහෙමයි. බොහෝම හොඳයි නමුත් මට ඔය ඇත්තො කිව්වේ නැහැ. සිහිය කැඩුණු තැන්. අපිට වැරදුනු තැන්. මොකද පිංවතුනි එතැනයි පුහුණුවේ වැදගත්ම කොටස තියෙන්නේ. එතනදි තමයි අපි අර වඩපු භාවනාව සාමාන්‍ය ජීවිතයේදී ක්‍රියාත්මක වෙනවාද නැද්ද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ. නමුත් අපි හිතාගෙන ඉන්නවනම් සමාධියේ උපරිම මට්ටමකට ගියාම තමයි මේ දහමේ ඉම තියෙන්නෙ කියලා එහෙම එකක් දහම් පොතේ නැහැ. ආයෙත් මම කියන්නම්,අපි හිතාගෙන ඉන්නවනම් සමාධියේ උපරිම මට්ටමට ගියාම තමයි මේ දහමේ ඉම තියෙන්නෙ කියලා එහෙම එකක් දහම් පොතේ නැත.

මේ දහමේ හොඳම තැන තියෙන්නෙ මේ මොහොතට වෙලා ඉදීම තුළයි. ආපස්සට ඇවිල්ල මහ පොළොවට අඩිය තියලා ඉන්න පුළුවන් වෙච්ච වෙලාවටයි. 

ඉතින් සිහිය පිහිටුවීම කියන භාවනාව ගැන කතා කරන මාතෘකාව තුල ආනාපානසතිය එක්ක කතා කරද්දි මං ඔය ඇත්තන්ව බොහොම දුර එක්කන් ගියා. ආපස්සට මතක් කලොත් එහෙම මං හිතනවා ඒක ලේසි වෙයි කියලා. ඉස්සෙල්ලාම මං කිව්වේ නිදහස් තැනකට ගිහින් වාඩි වෙලා ඇහෙන සද්ද ටික අහගෙන ඉන්න, එතකොට සද්ද විභේදනය කරන්න පුළුවන් වෙයි කියලා කිව්වා . දුර ඒවා, ළඟ ඒවා , ගොඩක්ම ආසන්න ඒවා, කරදර ඒවා, කරදර නැති ඒවා, අතහරින්න ලේසි ඒවා, අමාරු ඒවා... ඊළඟට සිතිවිලි, ඒවාගෙන් නිදහස් වෙච්ච හිත ශරීරය මතට ඒවි කියලා කිව්වා, හෝ අරං එන්ට ඕන. ශරීරය මතට පතිත උනහම ඒ පතිතවීමත් එක්ක තමයි ශරීරය මතට පතිත වෙනවා කියන එක අපිට දැනගන්නෙ. කොහොමද ශරීරයේ මතුපිට නලියන ඒවා තේරෙන්න පුලුවන්, සත්තු දුවනවා වගේ තේරෙන්න පුලුවන් උදාහරණ හැටියට නමුත් අපිට වුවමනාව තියෙනවා නම් ඇතුළට යන්න ඒක වෙනම කතාවක්. ඒ කියන්නේ ආනාපානය දකින්න බලාපොරොත්තුව තියනවා නම් ඒක අපේ ආශාව. ඒක වෙනයි. හැබැයි මතුපිට තේරෙනවා නම් පුළුවන් තරම් මතුපිටට වෙලා ඉන්න ඕන. එහෙම ඉඳලා ඒ මතුපිට තියෙන අවධානය වර්ධනය කරගන්න ඕන මුළු ශරීරය පුරාවටම. ඒත් එක්ක චුට්ට චුට්ට ශරීරයේ අභ්‍යන්තරයත් තේරෙන්න ගනීවි.

ඊට කලින් වෙන්නත් පුළුවන්. ඔය රිදුම් වගේ වේදනාවන් දැනෙනවා නම් ඒක එක තැනකින් එයි. ඒ දැනෙන තැන වගේම අනිත් තැන් වලත් බලන්න ඕන.උදාහරණයක් හැටියට වම් කකුල රිදෙනවා නම් වම් කකුලේ ඉඳන් දකුණු කකුලට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. මේ වේදනාවන් අතර පරතරයක් තියනවා කියලා හිතට හුරු කරන්න. නැතිනම් දුක පසුපස්සේම විතරක් හිත දුවාවි. මේ ශරීරය ඇතුලේ හිතට දුවන්න දෙන්න ඕන. එහෙම කරලා මුළු ශරීරය පුරාවටම දකින්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන් විදිහේ අවධානයක් ගෙනියන්න පුලුවන් වුනානම් අන්න එතකොට අහුවේවි මේක අස්සෙ තිබිච්ච ඝන ස්වභාවය , මෘදු සභාවය , සිසිල් ස්වභාවය ආදී කාරණා ටික. 

සුසුම් පොදට හිත යනවා නම් වගේම එතන නතර වෙන්නත් පුළුවන් නම් මූලිකවම, හුස්ම එනවා නම් එනවා, යනවා නම් යනවා දකින්න. මූලිකව ඔය ටික විතරක් අහු වේවි. තව ටිකක් ඒකට කිට්ටු වෙන්න කිට්ටු වෙන්න ඒ සුසුම් පොදේ හටගැන්මේ මොහොතේ ඉදල පවතින කොටත් සුසුම් පොද නැති වීම කියන කාරණාවන් සිදුවෙන විටත් සතිමත් වෙන්න කාලයාගේ ඇවෑමෙන් පුළුවන් වේවි. ආන්න ඒ වගේ කාරණා උනත් අල්ලගන්න පුළුවන් වේවි. 

   ඊට පස්සේ තව ටිකක් ඒකත් එකක් සාදර වෙලා කිට්ටුවෙන් ඉන්න ඉන්න ඉවසීම හදාගන්නකොට හිත සමාධිමත් වෙන්න වෙන්න, හිත තැන්පත් වෙන්න වෙන්න, අපට ඔය සුසුම් පොද ආශ්‍රය කරගත් ශරීරික ක්‍රියාකාරීත්වයන් වගයක් සිදු වෙනවා කියලා අහුවෙන්න පටන් ගනීවි. ඊට පස්සේ ශාරීරික ක්‍රියාකාරිත්වයන් වැටා ගොඩනැගෙන සංගටක ටිකක් අහු වේවි. විශේෂයෙන් ම ඊට වැටබදින කාරණා හදුනාගත යුතුමයි. ඊට පස්සේ අපි ඒ ශාරීරික ක්‍රියාකාරිත්වයන් සිද්ධ වීම හා වැට බැඳෙන කාරනයන් ඔක්කොමත් එක්ක මුළු ශරීරය පුරාවට අවධානය පවත්වාගෙන ගියහාම අපිට අර රළු නැතිනම් දරත ස්වභාවයන් ටික මෘදු සැහැල්ලු කරගන්න අවස්ථාවක් හම්බ වේවි. එතකොට ප්‍රීතිය දැකගන්න පුළුවන් වෙන ස්භාවයක් ඇති වෙන බවකුත් පෙනේවි. හැබැයි ඒකෙදිත් ශරීරය ඇතුලේ කියලා කියන සීමාවක් පනවාගෙන ඉඳීවි. අපි මේ කියන සීමාව ඇතුලත සිහිය පිහිටුවා ඉන්න ඉගෙන ගන්න කොට යම් යම් අවස්ථාවන් වලදී මේ ශරීරය අතුරුදහන් වෙලා යන බවද වැටහේවි. මේ වෙනකොට බාහිරව ගත්ත අරමුණු අතුරුදන් වෙලා අපේ අවධානය විතරක් පවත්වන ස්වභාවයට අපි හුරු වෙන්න පුලුවන්. මේ වෙනකොට ශරීරයේ සමහර කොටස් අතුරුදහන් වෙලා තියෙන්න පුළුවන්. ඒක හින්දා ඊළඟට අපි මොකද කරන්නේ සමහර කොටස් කියන එකත් අයින් කරලා ශරීරය තියෙන සෑම කොටසක්ම අතුරුදහන් වෙනකම් ඉවසන්න ඉගෙනගන්නවා. ඕක ටිකක් අමාරුයි.. මොකද මේ වෙනකොට අපිට තියෙන ඉවසීමයි ප්‍රධානතම භූමිකාව වන්නෙ. ඒක කරන්න බාධා කරන අපේ මමත්වයේ රැහැන් ටික දැක දැක ඉන්නවා. වගේම දකින්න දකින්න ඒවා විනාශ වෙලා යනවා. 

           ඇත්තම කියනවා සිදුවන දේ දැනගැනීමම ප්‍රමාණවත්. ඊට පස්සේ තමයි අර චිත්ත සංඛාර කියලා කියන පසුපසින් තියෙන යොමු කිරීම තේරුම් ගන්න පටන් ගන්නෙ. ඒක මං විග්‍රහ කළේ මේ තැනට එනකං කරපු භාවනා වාර හැම එකක්ම කරන කොට ඒ පසු පස්සේ තිබිච්ච, පිටිපස්සෙන් තල්ලු කරපු අපිව හසුරුවාපු තණ්හාවේ ලක්ෂණ හැටියටයි. ඒවා හොඳට තේරුම් අරගෙන ඒ බරපතළ විදියට තිබිච්ච අදහස් ටිකෙනුත් අනුක්‍යමිකව නිදහස් වෙනකොට ඊළඟට ස්වභාවයෙන්ම අපිව හිතෙහි ස්වාභාවයන් දකිනවා කියන තැනට යොමු වෙලා තියේවි. ඒ කියන්නේ අපේ නොපෙනෙන අභ්‍යන්තරය යනු හොඳ නරක කැටි වෙච්ච මඩ ගොහොරුවක් වගේ පේන්න ගනීවි. සහ අපි තේරුම් ගනීවි.

             ඕක ඔහොම වෙද්දී හොඳ ඉවසීමක් ඇතිවේවි. ඊට පස්සේ අපිට ඕකෙනුත් ගැලවෙන්න පුළුවන්, නිදහස් වෙන්න පුළුවන් පැත්තකින් යන්න පුළුවන්කමක් හම්බවේවි. ඒ කිව්වේ හිත සමාහිත පැත්තට නිදහස් කරවන පැත්තට යොමු කරගන්න හැකි වේවි. මොකද මනුෂ්‍යයෝ හැටියට ගොඩක් වෙලාවට අපේ මතකයේ තියෙන්නේ දුක් දොම්නස් ගැන අදහස් පමණයි. නමුත් මේකෙදි අපිට බුදු පියාණන් වහන්සේ උගන්වන්නේ දුක් සහිත පැත්තෙන්ම නෙවෙයි ගමන යායුත්තේ එයින් ගැලවෙන පැත්තටයි යායුතු වන්නේ කියා. ආන් ඊට පස්සේ තමයි අපි ධම්මානුපස්සනාවට ආවේ. බලනකොට ධම්මානුපස්සනා කොටස් හන්දා තමයි අපිව ඔය තැනට ඇවිල්ල තියෙන්නෙ.          

        ඉතින් ඔය ඇත්තන්ව භාවනාව තුළ සතිපට්ඨානය ගැන කතා කරමූ කියලා කල යෝජනාවේ අද 19 දේශණය. මෙච්චර දුරක් ආවේ ඔය කියන කාරණය කියන්න . මේක මුලදී මං කිව්වා නම් ඔය ඇත්තෝ ඕක තේරුම් නොගන්න තිබුණා. නමුත් මං විශ්වාස කරනවා දැන් මේක තේරුම් ගනීවි කියලා. ඉතින් අපි බලමු ඊළඟට සිද්ධ වෙන්නේ හෝ සිද්ධ කරන්නේ මොකක්ද කියලා කතාබහ කරමු. හෝ මෙ කියපු කාරණා ටික ආයෙත් විස්තර කරන්න ඕනේ නම් ඒක ඔය ඇත්තන්ගෙ තීරණයක්.

               එහෙම වුනොත් අපි ඒ විදිහට කටයුතු කරමු. ඒ වෙන තාක්කල් අදට දේශනය අවසන් කරන්න මම බලාපොරොත්තු වෙනවා. අද තමයි එතකොට ආනාපානසති සූත්‍රයේ අවසන් දේශනය. ඉතින් මේ දේශනා පෙළ තුළින් ඔය ඇත්තන්ගේ ජීවිතය අලුත් කරගන්න, දුකින් නිදහස් වෙන්න මොකක් හරි ක්‍රමයක් සැලසුණා නම් ඒ විදිහට ඒ ලබාගත්තු දැනුම ඔය ඇත්තන්ට බොහෝම කාලයක් යහපත පිණිස හිතසුව පිණිස පවතීවා කියලා බලාපොරොත්තු වෙනවා. 

         

තෙරුවන් සරණයි! 

සාදු සාදු සාදු !!!!.


( දේශනවේ අත්පිටපත සහ පරිගණක දත්ත සටහන් කිරීම ඉරිදා දහම් සංචිතයේ පූර්ණා මහත්මිය )

...........සියලු යහපත සැලසේවා........

Comments

Popular posts from this blog

අපක්ෂපාතී නිරීක්ෂණය භාවනා උපදෙස් අංක 11

අපක්ෂපාතී නිරීක්ෂණය භාවනා උපදෙස් අංක 01