අපක්ෂපාතී නිරීක්ෂණය භාවනා උපදෙස් අංක 11
දේශනාවේ පිටපත 👇
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.......!!!
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි...
"තන්හාය දුතියෝ පුරිසෝ,
දීඝ මද්දාන සංසරංතිති..."
ශ්‍රද්ධාවන්ත පින්වතුනි අදත් අපි මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව කේන්ද්‍රගත කරගත්ත 11 වෙනි ධර්ම සාකච්ඡාව
සිදුකරගෙන යන වෙලාවයි මේ. මාස තුනක් හෝ ඒ වගේ කාලයක් මේ කටයුත්ත මෙහෙමම කරගෙන යනවා. පහුගිය දේශනාව අවසාන කරනකොට අනුශාසනාව අපි කිට්ටු වුණා ආනාපානාසතිය කියන භාවනා ක්‍රමය පුරුදු කරන අයට ඒක කරගෙන යන්න පුලුවන් විදි ගැන අත්දැකීම් තියෙන විදිහටත් ගුරුවරුන්ගේන් ඉගෙනගෙන තියෙන විදිහටත් සූත්‍රයේ සදහන් විදිහටත් කියන මේ ආකාර තුනම එකට එකතු කරලා කතාබහ කරන්න. කෙසේ හෝ නමුත් මම පුද්ගලිකව සූත්‍රයට ගොඩක් ගරු කරනවා. ඒ හින්දා සූත්‍රය කුලුගන්වන්නන්න ගොඩක් උත්සහ කරනවා. ඒ වගේම ඒකට තියන සාධකත් ඉදිරිපත් කරන්න යුහුසුළු වෙනවා. පසුගිය කාලය පුරාවට ඒ වගේ කාරණා ඉදිරිපත් කලා ඔය ඇත්තන්ට මතක ඇති.ගිය සතියේ ගාථාවකින් කියන කාරණාවක් අවසානයට අරගත්තා
" ආනාපානාසතියස්ස , පරිපුන්නා සුභාවිතා
අනුපුබ්බං පරිචිතා , යතා බුද්දේන දේසිතා
සෝමං ලෝකං පභාසේතී , අබභාමුත්තෝව චංදිමා "
අනාපානාසතිය කියන භාවනාව අනුපූර්ව හැටියට කරනවා නම් ඒ කියන්නේ පිළිවෙලකට කරනවානම් පමණයි මෙයින් ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් වෙන්නෙ කියන එකයි ඔය කීයන්නෙ. මේක තැනින් තැන කරනවට වඩා ආන් ඒ පිළිවෙල, ඇත්තටම මම විශ්වාස කරනවා .
ඉතින් එවන් වූ පිළිවෙලක් ගැන කතා කරපු අවසාන වතාව හැටියට ගිය සතියේ අපි කථා කලේ අනාපානය දකින කෙනෙක්ට පිවිතුරු හුස්ම පේන්න උනහම ශරීරය තුළ තිබිච්ච වේදනාත්මක රළු ස්වභාවයන්, ඕකට දරථ කියලත් කියනවා, ඒ වගේ දේවල් ටික දැක දැක ඉන්න පුළුවන් නම් ඒ රළු ස්වභාවයන් මෘදු සැහැල්ලු කරගන්න පුලුවන් විදිහ ගැනයි.
ඒ වගේ තැනකට ආවහම ඉවසීම අපෙන් බැහැර වෙන්න පුළුවන් බව කියන්න උත්සහා කරා. ඒක වලක්වන්න යෝජනා කරපු උපක්‍රමය තමයි සූත්‍ර දේශනාවල සඳහන් වන හැටියට ඔය කියන ප්‍රීතිය ඇති කරගත්ත නම් පස්සද්දි ගුණය ඒ ඇති කරගත්ත නම් ප්‍රීති සුඛය කියල කියන මෘදු සැහැල්ලු ලක්ශණය මුලු ශරීරය පුරාවටම වර්දනය කරගන්නකන් ඉවසීම දියුණු කරන්නට ඕනේ කියන එකයි.... මොකද අපේ හිත එකතැනකට කිට්ටු උනාම ඊලඟට එකට සම්බන්ධ වෙන්න පුදුමාකාර කැමැත්තක් තියෙන්නෙ. ඒක සාමාන්‍ය හිතේ ස්වභාවයයි. ඒ කියන්නේ පොඩි සැහැල්ලුවක් දැනෙන්න උනහම අපි ඉන් එහාට යන්න උත්සාහ කරන්න පුළුවන්. ලද දේ හැකි ඉක්මනින් බැහැර කරල දාන්න උත්සාහ කරන්න පුළුවන්. නමුත් අපි ප්‍රායෝගිකව මේ දේළට එන විදිහ එහි ඉන්න විදිය අධ්‍යනය කරල නැතිනම් මනාකොට මේ කාරණාව හරියට ස්පර්ෂ කරලා නැතිනම් ඒ ඊළඟට යන එක කියන දේ තුලින් වල්මත් වෙන්න පුළුවන් සම්භාවිතාව ඉතා වැඩියි. ඕක ගැන කියන්න තියන ලේසිම සූත්‍රය තමයි අංගුත්තර නිකායේ ගාවීඋපමා සූත්‍රය.
තථාගතයන් වහන්සේ ලෝකවිදූ නිසා උන්වහන්සේ අවබෝධ නොකරපු දෙයක් නැති නිසා උන්වහන්සේට පුළුවන්කම තිබුණා මේ ගැන අපිට කියලා දෙන්න. ධ්‍යාන කියන මාතෘකාව ඔස්සේ තමයි කතා කරන්න ලේසි වෙන්නනෙ. මොකද මානසික තල ගැන වෙන විදිහකට ඇදලා පෙන්නන්න විදිහක් නැති නිසා. ඔය සූත්‍ර දේශනාවේ තියෙනවා, කවුරු හරි කෙනෙක් ඔය කියන ආකාරයට හිත කය වචනය පුරුදු කරනකොට එයාට භාවනාවේදී සිතිවිලි එන්නෙ සහ සිතිවිලි වල සැරිසරන්නේ නැතිව මෘදුබව සහ කායික මානසික සැහැල්ලුව ඇතිකරගෙන මොහොතක් ඉන්න පුළුවන්කමක් හම්බ.ඕනම භාවනාවකින් ඔය කියන තත්වයට එන්න පුළුවන්.
ඔය කියාපු වටපිටාව එතකොට පළවෙනි ධ්‍යානය වගර මට්ටමක් තමයි. භාවනාව තුලදී මේක වෙච්ච කෙනාට උවමනා වෙන්නේ ඒක තුළ වැඩි වේලාවක් ඉන්නටයි. හැබැයි ප්‍රශ්නෙ මුල මෙතනයි. ඒ කීවුවේ මෙයාට මතක තියෙන්නේ ඒවගේ අවස්තාවකට ආපු විත්තිය විතරක් නම් ඒකට ආවා කියන ඵලය ගැන විතරක් නම් අදහස තියෙන්නේ එයාට තේරෙන්නෙ නෑ ඊලඟ වෙලාවට ඕකට යන්නේ කොහොමද කියලා. මං මුලා වෙනවා. ආන්න ඒක හන්දයි අපි ඕකට ආපු මාර්ගය, ඒ පාර කොහොමද කියලා හොයන්නට උත්සාහ වෙන එකේ වැදගත්කම තියෙන්නෙ. කෙසේ නමුත් හරි ආකාරව පිළිවෙලකට මේ ගැන ඩිංග ඩිංග ඩිංග ඩිංග ඉගෙනගෙන, භාවනාවේදී හමුවන සමහර තැන්වලට අපි රුචියක් නො දැක්වුවාට, රුචියක් හෝ කැමැත්තක් නොදන්වන කාරණා අතහරින්නෙත් නැතිව හැම එකක්ම ඉගෙනගෙන, ඒ හැම එකක්ම ස්පර්ශ කරලා භාවනාව තුළින් ආවානම් අපිව කිට්ටු වෙයි ඔය ශරීරයේ තියෙන රළු ස්වභාවය ටික නිෂ්ප්‍රභා කරගෙන සැහැල්ලු ස්වභාවයකට වෙලා ඉන්න පුළුවන් ගතියකට. සමහරවිට ඒ ස්වභාවය වඩා වර්ධනය කරගන්න පුළුවන් නම් බොහොම හොඳයි. හරියට අර කරණවෑමියෙකු නැත්නම් කොන්ඩේ කපන්නේක් පොඩි කාලේ ඔයා අයට මතක ඇති එක පැත්තකට චීස් චීස් ගාලා වතුර ගැහුවාම ඔලුවෙ ඒ පැත්ත සීතල වෙලා යනවා. ඇඟේ හිරිගඩු පිපෙන්නා වගේ ඊළඟට මේ හාදයා මොකද කරන්නේ මුළු ඔලුව පුරාවට වතුර ගහලා තෙත කරල දානවා. දැන් කොන්ඩෙ කපන කොට එහෙම තියෙනවද කියලා දන්නෙ නෑ. ඔය වගේ අපිට දේශනා කරනවා බුදුපියාණන් වහන්සේ ඇතිකරගත්ත ප්‍රීතිය, ඇතිකරගත් සැපය, ඇති කර ගත්තු මෘදු සැහැල්ලු ගුණය, මුලු ශරීරය පුරාවටම වර්දනය කරගන්න කියලා. හරියට කරණවෑමියා කොන්ඩේ කපනකොට කරනවා වගේ.
අන්න ඒ ආකාරයෙන් තමන් පළවෙනියෙන්ම මේ ශරීරයේ ආනාපානය දකිනකොට දැක්කේ කොහෙද කියලා හොදහැටි හොයල බලනව. ඊට කලින් ශරීරය තුළින් ආනාපානය දැක්කා උනාට දැන් ශරීරය පේන්නේ ආනාපානය නිසා කියල වගේ වැටහෙන්නත් පුළුවන්. ආශ්වාසය හින්දා ශරීරය ප්‍රකට වෙන හෝ දැනෙන්න තේරෙන්න පටන් ගන්නකොට සමහර ඇත්තෝ ඒක ආමාශයට දාගන්නවා පිම්බීම හැකිලීම වගේ, සමහර ඇත්තෝ තේරුම් ගන්න පුළුවන් පපුව වගේ, මේක තමයි එක්තරා අවදියක ආරභය හැබැයි අපි තවත් ඕක තුල ඉවසීමම වර්ධනය කරගෙන, ඒ දකින දේ තුළම පැලපදියම් වෙලා ඉන්න ඉගෙන ගත්තම ඒ කියන සිහිය හා සම්ප්ජන්‍ය තුලම රැදිලා හිටිම තුල අපිට තේරෙන්න ගනිවි මේ චලනය වීම ශරීරයේ එක් එක් කොටසකට සීමානොවූ මුලු ශරීරයේමපැතිර පවතින තරමේ යම්කිසි විදිහකට චලනයක් වෙනවා කියලා. හැබැයි ඒක අල්ලන්න ලේසි නෑ. ඒතරමට අපේ හිත සියුම් නම් මෘදු සැහැල්ලු උනානම් තමයි ඕක අල්ලන්න පුළුවන් වෙන්නෙ.
මම පසුගිය සතිවල ඔය ඇත්තන්ට උපදෙස් දුන්නා මතක ඇති ශරීරය පුරාම පියාබන්න ඉගෙන ගන්න කියලා, කිමිදෙන්න බලන්න කියලා, ඔය ඇත්තො ඕක ඉගෙනගත්තා නම් පින්වතුනි ශරීරය මෘදු කරගන්නේ කොහොමද සැහැල්ලු කර ගන්නේ කොහොමද කියන හොදට ඉගෙන ගෙන තියේවි.වගේම එවන් පුහුණුවක්, පුරුද්දක්, අසනීපයක් දුකක් වේදනාවක් ආපු වෙලාවට ශාරීරිකව මොකක් හරි ආපු වෙලාවට එවායින් නිදහස් වෙන්න භාවනාවට යන පමාව විතරක් වෙන්න පුළුවන්.
සාමාන්‍ය ජීවිතයේදී දුක තියෙන විත්තිය මං පිළිගන්නවා නමුත් භාවනාවට ගියාට පස්සේ එයාට පුළුවන්කම හම්බ වෙනවා ඒ කියන නිදහස බුක්ති විදින්න. ඒ වේදනාවෙන් නිදහස් වෙලා ඉන්න. ඒ විතරක් නෙමෙයි ඒ තරමට මුළු ශරීරයම මෘදු කරගන්න පුළුවන්නම් සැහැල්ලු කරගන්න පුළුවන් නම් ඒ මෘදු සැහැල්ලු ලක්ශණ තියෙන්නෙ ශරීරය කියන සංඥාව ඇතුලේ බව තේරෙන්න ගනීවි. පේන්න ගනීවි. අන්න එකෙනුත් නිදහස් වෙන්න පුළුවන් කමක් තියනවා.
අපි හිටිය උනාට නැහැ වගේ. ඉන්නව තමයි නමුත් නැහැ. හැබැයි මැරිලත් නැහැ. නමුත් ශරීරයේ රළු විදිහට තේරෙන්න ඇත්තෙත් නැහැ. ඒ වගේ අවස්ථාවන් චිත්‍රයට අඳින්නත් බැහැනෙ. අඳින්න ගියොත් නිකං ෂීට් එකක් තමයි පෙන්නන්න වෙන්නේ.
මම ආපහු කියුවොත් අපි මූලිකවම ශරීරය හදුනාගත්ත, ඒ තුල ඇති රළු ස්වභාවය මෘදු වෙන විදිහ ඉගෙන ගත්තා. පස්සේ ශරීරයේ කොටස් ටිකෙන් ටික අතුරුදන් වෙන්න ගත්ත, ඒ විදිහට මුළු ශරීරයම අතුරුදන් වෙනතුරුම ඉවසුව..
ඉතිං ඔය කියන අවස්ථා දෙකේදී අපිට දැනෙන වින්දනයන් වලට පාලියෙන් වේදනා කියනවා, ඒවා දෙයාකාරයි. එකක් ශරීරය කියන සීමාවට සාපේක්ෂ වෙනවා අනිත් එකේ මොනවත් නැහැ. ඒ වගේ ලක්ෂණ ඔය ඇත්තන්ගෙ භාවනාව තුළ සමහර සමහර වෙලාවල් වලදී කියනවා. මෙතන තියෙන ප්‍රශ්නෙ මේකයි. අපිට පොඩි සැහැල්ලුවක් දැනුනහම ඒක තියාගන්න හෝ වර්ධනය කරන්න හෝ අතහැරල දාන්න හදිස්සි.. ඒකයි ඔය ප්‍රශ්න ඇහෙන්නෙ ඊළඟට මොකක්ද කරන්නේ කියල. ඒ ප්‍රශ්න වල තේරුම තමයි ඔය ඇත්තෝ ඒවගේ අවදි වලට ඇවිල්ලා තියෙන්නෙ අර භාවනාවේ වැදගත්ම සාධකය කියල කියන ඉවසීම ගැන මනා අවධානයකින් නොවේකියන එකයි.
ඒ ගමන තුළ තවදුරටත් සකස් කරගන්න ඕන කාරණා තියෙන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට ප්‍රීතයක් වගේ දෙයක් ආවා නම් එහෙම ප්‍රීතියට වෙලා ඉන්න උත්සහ ගන්නවා. සමහරවිට ඉගෙනගෙන තියෙන්නෙ පුළුවන් ඒක බැහැර කරන්න කියලා, එහෙම වුනොත් මොකද කරන්නේ ඒ දැනෙන ප්‍රීතියට ඒ දැනට සුඛයට ඒ දැනෙන මෘදු බවට සැහැල්ලුවට හෝ පස්සද්ධි ගුණයට අපි සාදර වෙන්නේ නෑ. ඒ දැනෙන මෘදු කමට සැහැල්ලුවට අපි එකඟ වෙන්නේ නැහැ. අනුමත කරන්නේ නැහැ. තව තව සිතිවිලි බෝකරනවා වෙන්න පුළුවන්. අන්න එහෙම උනාම මොකද වෙන්නේ ඊළඟ දොර ගාවට අපි ඇවිල්ලා ඉන්නේ. නමුත් ඒකෙන් ඇතුල් වෙලා නෑ වගේ. ඒක හන්දා භාවනා මාර්ගයේ දී අපි ඉගෙන ගත යුතු කාරණා ගොඩක් තියෙනවා .
දීඝ නිකායේ සක්ක පඤ්ඤ සූත්‍රය තුළ තියනවා දහම් පදයක් "තණ්හාය නිස්සාය තණ්හාය පරික්ඛයං කියල" තණ්හාව නිසාමයි තණ්හාව හදුනා ගන්නෙ....
අපිට සිද්ධ වෙනවා තණ්හාව කියන එකම භාවිතා කරන්න තණ්හාවෙන්ම නිදහස් වෙන්න. මේක පුදුමාකාර අපභ්‍රංශයක් විත්තිය මම පිළිගන්නවා.
සාමාන්‍ය ජීවිත වල අපි තනි වෙච්ච අය.අපේ අදහස් වල, අපේ උවමනාවන් වල, අපේ බලාපොරොත්තු වල, ඒවා අපිට සංසිදුවා ගන්න හෝ ක්‍රියාත්මක කරන්න හෝ කියන්න කතා කරන්න කවුරුත් නැතිව අපි තනියෙන් ඉන්න අය හැටියට අපි හැමෝම වගේ හිතන්න පුළුවන්. හැබැයි ධර්මානුකූලව හැම කෙළෙස් වලින් ම නිදහස් වෙච්ච රහතන් වහන්සේලා හැර අනිත් සියලු දෙනාම තනියෙන් නෙවෙයි ඉන්නෙ. ඒක ඔප්පු කරන්නේ කොහොමද? ඇත්තටම කිව්වොත් හැම වෙලාවකදීම, හැම තැනකදීම, හැම වැඩකදීම, හැම සිතුවිල්ලකදීම, හැම වචනයකදීම, ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් සහ හිතින් අරමුණු ගන්නකොට, අපේ පිටිපස්සෙන් ඉදල අපිව තල්ලු කරන කෙනෙක් ඉන්නවා. ඒ තමයි තණ්හාව...
උදාහරණයක් හැටියට කවුරු හරි කෙනෙක් එක්ක කතා බහ කරනකොට ඒ කතාබහේ දී අපේ හිත ඇතුළතින් ඒ කෙනා ගැන සකස් කරල තියෙන හන්ද හිත අපිට කියන්න පුළුවන් මෙයත් එක්ක කතා කරනකොට මෙහෙම මෙහෙම වෙන්න. මෙයාට මේ මේ විදිහට කතා කරන්න. මේ විදිහට සලකන්න යනාදී ආකාරයට. එක්කො ඒ කෙනා ඊට කලින් වැරදි වුනාට දැන් හොඳ පැත්තට වෙන්න පුළුවන් නරක පැත්තකට වෙන්නත් පුළුවන්. නමුත් තමන් ගාව තියෙන අදහස එක්ක ගත්තොත් ඒ අදහස අපිව පාලනය කරනවා.
ඒ විදිහට හිත ඇතුළින් කතා කරලා කියන දෙයක් තියෙනවා. මේක තමයි අපේ ජීවිතවල තියෙන එකම එක උගුල. අපි හැමදාම ඔය කියන ගැටේ හිරවෙලා ඉන්නවා. නමුත් බලාගෙන යනකොට ප්‍රශ්නයක් නැති වෙන්නත් පුළුවන්. ඒ වුණාට අපේ අස්සේ ඉදලා අපිම ගත්ත අදහස් නිසා ම හටගත්ත, සත්වයෙක් පුද්ගලයෙක් නැති මේක අවුල් කරන ස්වභාවයක් අවුස්සන තල්ලුවක් තියෙන්න පුළුවන්. අන්න ඒකට කියනවා තණ්හාව කියලා. හැබැයි අපි දන්නේ නැහැ ඕක අල්ලගන්න ස්පර්ශ කර ගන්න.
බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරනවා සතර සතිපට්ඨානය තමයි සත්ත්වයාගේ ශෝකයෙන් ඇතිකරන දුකෙන් නිදහස් වෙන්න ඥානය උපද්දවන්නට වගේම නිවන් දකින්නත් හේතුවෙන එකම එකම මාර්ගය කියලා
ඒත් එක්කම තවත් පැත්තකින් කියවෙනවා ආනාපානසතිය කියන භාවනාව තමයි සතර සතිපට්ඨානයම පුරුදු කරන්න පුළුවන් වෙන භාවනාව කියල. එහෙම නැත්නම් ආනාපානසතිය වැඩෙනකොට සතර සතිපට්ඨානය ම වැඩෙනවා කියලා . සප්ත බොජ්ජංග ධර්ම හතම වැඩෙනවා.
මේ භාවනාව තුළින් ඇතිකරගන්න හිතෆ තැන්පත් කමට අරහන්ත සමාධි කියලත් කියනවා. නමු අපේ ඇතුලෙ තියෙන අපිව හසුරුවන, පාලනය කරන ලක්ෂණය අල්ලගන්න තැනක් තවමත් අපිට භාවනාව තුළ හරියට හමු වුණේ නෑ වගේ. එහෙම එකක් තියෙනවා කියලා හරියට අල්ලගන්න පොටක් තවමත් පැහැදුණේ නෑ වගේ. හේතුව මොකක්ද ඒක චෛතිසිකයි. ඒක සිතිවිලිවලටත් වඩා එහාගිය කාරණාවක්. ඒක හරියට නිකං උදාහරණයක් ගත්තොත් නම් ස්පොන්ජ් එකක් පාට වතුරට දැම්මොත් ඒ ස්පොන්ජ් එකම වතුරේ තියෙන පාටට වෙනස් වෙනවා. ආන් ඒවගේ අපි බලන බලන රූපය තුළ අපි හැමදාම කැමති වෙන්නේ අපි කැමති විදිහටම දකින්න. කැමති දේ විතරක් බලන්න.අකමැති දෙයින් හැකි ඉක්මනින් අයින් වෙන්න. අපි අහන ශබ්දය තුළ අපි හැමදාම කැමති වෙන්නේ අපි කැමති දේ අහන්න. අපි කන දේ තුළ අපි හැමදාම කැමති අපි කැමති දේ කන්න.අපි කැමති දේ කතාබහ කරන්න.ඒක අපි හදාගෙන තියෙනවා ධර්මානුකූලව මෙහෙම මෙහෙම ස්වභාවයකට කියලා. ඊට පස්සේ අපි සලකන්න ගන්නවා මේක ධර්මානුකූලමයි කියලා. නමුත් කැමැත්ත කියන එකමයි මේ අපිව අරන් යන්නෙ. ඒකමයි මේ අපට පාර පෙන්නන්නෙ. හැබැයි තාම අහුවුණේ නැහැ.ඔය කියන කැමැත්ත අපිව දුකෙන් නිදහස් කරනවා කියලා. කැමැත්ත සමහර වෙලාවට අපේ හිත සමාහිත කරන්ටත් තැන්පත් කරන්ට මෘදු සැහැල්ලු කරන්ටත් ඥානවන්ත කරන්ටත් තවත් වෙලාවකදි ඒ කියන්නේ සදහටම අපිව මෘදු සැහැල්ලු නොකරන්නටත් අසමාහිත කරන්ටත් ප්‍රශ්න හදනටත් යොමු කරන ලක්ෂණත් තියෙනවා.
අපි දන්නෙ ඒක සිද්ධ උනාට පස්සේ. හරියට පටිච්ච සමුප්පාදයෙ අවිජ්ජා පච්චයා සංඛාරා කියන එකෙන් පටන් ගත්තහම අපිට තේරෙන්නෙ අවසානයට වගෙයි. හරියට දුක්ක දෝමනස්ස උපායාස සම්බවන්තී කියන තැනට ආවහම. මේකෙ අතර මේ ගමන එනකොට අල්ලන්න අපි දන්නෙ නෑ තාම . එහෙමනම් මේ කියන සිහිය දියුණු කිරීම අපේ ජීවිතේ ඔය කියන අපිව පාලනය කරන, අපිව යොමු කරන , අපිව අන්දවන අපිව දුකට ඇදලා දාන ලක්ෂණ අල්ලගන්නේ කොහොමද ?
ඒක අල්ල අල්ලගන්න බැහැ මම විස්වාස කරන හැටියට භාවනාව තුළ අපේ හිත අර ශාරීරික වේදනාවට හෝ හොඳ හෝ නරක එහෙම නැත්නම් සිතුවිල්ලකට එහෙම නැත්නම් ශබ්දයකට ඇලෙන විදිහේ හිතක් තියෙනවා නම් බැහැ මේක කරන්න.
උදාහරණයක් හැටියට ආශ්වාස ප්‍රශ්වාස අතර ගත්තොත් ආශ්වාසය ඒ ආශ්වාසය මටසිළුටු නම් මෘදුවට එනව නම් අපි මේ ආශ්වාස ගනීවි. ඒ මෘදුව තියන ස්වභාවයට ලොල් වේවි. ඒ මෘදු කියන ස්වභාවයට මනාපය ඇතිකරගනී. අන්න එතනයි දැන් අවුල තියෙන්නේ. නමුත් මුලදි තණ්හාවම භාවිතා කලා. අපි දැන් මේ කතාකරන තැනට එන්න කලින් ඔය ඇත්තන්ට කිව්වා මතකද ප්‍රීතියක් ඇති වුනොත් ඒ දකින ප්‍රීතියට කැමතිවෙන්න. ඒ ප්‍රීතිය වඩා වර්ධනය කහගන්න කියලා.මේ පාර කියන්නේ ඊට වඩා චුට්ටක් ඉස්සරහට ගිය දෙයක්. දැන් අපි ඉගෙන ගන්න හදන්නෙ තියෙන දේට අපේ හිතේ තියෙන ඇලීමත් එක්ක තමයි මං මේක විඳින්නේ කියලා දැන් අල්ලගන්න දක්ෂ වෙන්න ඕන හෝ දක්ෂ විය යුතුයි.
චෛතසිකව සකස් කරගත්ත ඒ අවශ්‍යතාවය දැක දැක ඒ උවමනාව දැක දැක අපි ආශ්වාසය හෝ ප්‍රාශ්වාසය පේනවනම්, ඒක දකින්න ඉගෙන ගන්න. එහෙම උනහම තමයි භාවනාවෙදි අපි ආවා නම් ශරීරය නැති අවදියකට හෝ , මොකවත්ම නැති තැනකට අන්න එතකොටයි අපිට චිත්ත සංස්කාරය කියන්නෙ මොකක්ද, ඒකේ බලපෑම මොකක්ද කියලා තේරෙන්න ගන්නෙ.
හැබැයි කතාකරන කොට වචනයෙන් නම් කියන්න පුලුවන්, මම මේකට ඇලෙන්නෙ නැහැ කියලා. නමුත් ප්‍රායෝගිකව සිද්ධ වෙනකොට තමන් තමයි තමන්ම දන්නේ හැබෑවටම මොකක්ද වෙන්නෙ කියලා. හැබැයි ඒකත් ඒ සිද්දවෙන දේ ඒ ආකාරයෙන්ම අනුමත කරන්න භාවනා යෝගියාට පුළුවන් නම් විතරයි. මෙහෙම මම කියන්න හේතුව අපි මේ යන්නෙ රහත් වෙන මාර්ගයේ නිසා. රහතන් වහන්සේලා කියන උත්තමයන්ගේ ලක්ෂණයක් තියනවා අර උපමාවකින් කියන හංසයා කරන වැඩේ කරන්න පුළුවන් කියලා. කිරි භාජනයක් දුන්නොත් හංසයා දන්නවාලු වතුර ඉතුරු කරලා කිරි ටික විතරක් බොන්න.
භාවනා ලෝකය තුළ අපි ආනාපානසති භාවනාව පටන් ගන්නේ කොහොමද අර තියෙන සද්ද බද්ද අහගෙන ඉඳලා හිත දුවන එකට සාදර වෙලා ඒක අනුමත කරලා. ඊට පස්සේ අපි ශරීරයේ අභ්‍යන්තරයට ආවා ඇවිල්ලා අභ්‍යන්තරයේ ඇති වේදනාවන් ටික දැනගත්තා. ඒවට සාදර වෙන්න පටන් ගත්තා. එතකොට තමයි අපිට පේන්න පටන් ගත්තෙ ආශ්වාසයක් සහ ප්‍රශ්වාසයක් තියෙනවා කියලා. ඒකත් එක්ක ඉන්න පුළුවන් කමක් තියෙනවා කියලා. ඊට කලිනුත් ආශ්වාසය ප්‍රශ්වාසය දැක්කා ඒත් ඒකත් එක්ක ඉන්න පුළුවන්කමක් තිබුනේ නෑ. ඒ මොකද අර වටා තිබ්බ සද්ද, හිත දුවන එකට සහ ශරීරයේ ඇති දැනීම් වලට තිබුන ඈලියාව නිසා. කොහොම නමුත් දැන් භාවනාව තුළදී අපි ශරීරයත් නිෂ්ප්‍රභා කරගෙන ඉන්න නිසා විවේකී වටපිටාවක් තියනවා. දැනෙන හුස්මක් තියෙනවා නම් ඒ දැනෙන හුස්ම තුළට වෙලා ඉන්න, ප්‍රතිචාරය තේරුම් ගන්න. මේකෙ හිතාමතා කරන්න පුළුවන් දෙයක් කියලා හිතන්න බෑ. මම විශ්වාස කරන්නෙත් නැහැ. මොකද ඒ කියන එක අල්ලගන්න බැහැ ශරීරය ගැන අපිට සංඥා වල් තියෙනවා නම්. ඒ අතරතුර සංඥා වල් මතුවෙනවා නම් ඒකෙන් අපිට විමර්ශනය කරන්න තියෙන වටපිටාව ගොඩක් ඇහිරෙනවා සද්දබද්ද වලට යන හිතක් නම් තියෙන්නෙ මෙහෙම ඒවට යන්න අමාරුයි
හැබැයි මෙහෙම වටපිටාවක් තියෙන බව සහ ඒගැන ඉගෙනගන්නේත් මෙතනදිම තමයි.මේ වටපිටාව තුලදී තමයි නොඇලී සිටීම ගැන හදාරන්නේ. පසුකාලීනව ඉගෙනගෙන ඉවර උනාට සාමාන්‍ය ලෝකය තුළදීත් භාවිතා කරන්න පුලුවන් වේවි. කොහොම වුණත් අපි ඉගෙන ගනීවි අපිව පිටිපස්සෙන් තල්ලු කරන්නේ කවුද කියලා.
රහතන් වහන්සේලා හැර අනිත් හැමෝටම කෙලෙස් තියෙනවා. ඒ අය ඒ ඒ අයගේ මට්ටම් අනස හා රුචි කරන ආකාරයට අනුව ජීවිතය සහ හසුරවන්න සමාජය හසුරවන්න බලනවා. කරන්න කතා කරනවා. සිතිවිලි බඳිනවා. සමහර විට ඒවා දාගන්නවා ධර්මානුකූලයි කියලා. නමුත් දැන් අපිට තේරුම් යන්න පටන් ගන්නවා ඒ සියලු දේ පිටුපසම මාරයා කියලා කියන තණ්හාව ඉදල තියෙනවා.
උදාහරණයක් හැටියට කියුවොත් බොහොම කාලයක් මහන්සි වෙලා තැන්පත් වෙච්ච හිතක් හදා ගත්තාම එතැනදි අපේ හිතේ තියෙන අදහස් තියෙන්න පුළුවන් සමාධියේ අවසානයකදී, ධ්‍යාන තුළ අවසානයේ දී විපස්සනාවක් කරන්න හිතනවා කියලා. හිත ඒ තරමට අපේ උපේක්ෂා සහගත තත්ත්වයට පත් කරගත්තා නම් ඊට පස්සේ ආපහු කල්පනා කරන්න නම් පටන් ගන්නෙ මාරයා අපි දිහා බලලා හිනා වෙනවා. මොකද මාරයාට අප වෙනුවෙන් ආපහු අපිව කචල් කරන්න දෙයක් වෙන කොහේවත් නෑ. අපිම ඒ දේ අපි වෙනුවෙන්ම කරන නිසා. එතකොට ගැටළු නිර්මාණය කිරීම තිබිල තියෙන්නේ මේ අපි අස්සේම තමයි.
ඉතින් කවුරුහරි කෙනෙක් හෝ හරි දෙයක් පිටුපස ඉඳලා අපිව මේකට කැමති නම් කැමති පැත්තට, අකමැති නම් අකමැති පැත්තට යොමු කරවන අදහස් වගයක් තියෙනවා, ... හරියට ස්පොන්ජ් එක අස්සට ගිය පාට වතුර ටික වගේ ඒ පාට වතුර ටික අස්සට ගියෙ නිසා සුදු පාට ස්පොන්ච් එක පාට භාවයට පත්වෙනවා.. අපේ ජීවිතෙත් ඔය වගේම තමයි අපි හරියට දන්නේ නැතිනම් මේක තුළ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා,ඒ අභ්‍යන්තර උවමනාවට අනුව ජීවිතය හසුරුවනවා. ඒ මොකද මේක අස්සෙ තියෙන අපිව පාලනය කරන කාරණාව, අපිට අල්ලන්න තේරෙන්නෙ නැති නිසා.
ඒ වෙනුවට අපි මොකද කරන්නේ සමහර ඇත්තෝ සද්දබද්ද ඇහෙන නිසා භාවනාව නතර කරනවා, සමහර ඇත්තෝ සිතුවිලි දුවන නිසා භාවනාව නවත්වනවා, ඒකට මනාප නෑ. සමහර අය ඇග රිදෙන නිසා මනාප නෑ, සමහර අයට අර මොකක්වත් නැහැ ඒක හන්දත් කැමති නැහැ. සමහර අයට ඇඟ ඇතුලෙ වේදනාවල් තියෙනවා, ඒ නිසා මනාප නෑ, සමහර අයට ආනාපානය නාසිකාග්‍රය තේරෙන්නෙ නේ නෑ, සමහර අයට තේරෙනවා, සමහර අයට ශරීරයත් නෑ, ඒ හින්දා මනාප නෑ..... ආදී හැටියට බලන්න මේ හැම හැමතැනම අපි හිර වෙලා තියෙනවා. අපේ නැමියාවල් එක්ක. අපේම උවමනා වල් එක්ක. ඕක අල්ල ගත්ත නම් අපිට තේරුම් ගන්න පුළුවන් වේවි ඒ කියන නැමියාව ඒ තියෙන බලාපොරොත්තුව ඒ තියෙන අර ඇදිල්ල අපිව මෙහෙයවන්නෙ සමාහිත කරන්නද නැති කරන්නද කියලා. ආන් ඒ ටික අල්ලගන්න එකයි ආනාපානය තුළ තියෙන මට හිතෙන්නේ අති සූක්ෂම කාරනාව. සතිපට්ඨානය තුළ තියෙන අති සූක්ෂම කාරණාව. හැබැයි ඕක අල්ල ගත්තනම් එහෙම සාමාන්‍ය ජීවිතයේ දී උනත් ප්‍රයෝජනවත්. බලන්න සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනා කොටස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහෙන්ද දුක හදා ගත්තේ ඇහැ තියෙන තැනින් කොහෙන්ද දුක නැති කර ගන්නේ ඇහැ තියෙන තැනින්මයි කියලා. නමුත් අපි ඕක වෙන කොහෙට හරි අරන් යනවා අපි දන්නේ නැහැ මේක ගලවගන්න.
ඒකයි කිව්වේ අපි මේ ඉගෙන ගන්නේ රහතන් වහන්සේලාගේ ගුණයක් බව. උන්වහන්සේලාගේ ගුණය මොකක්ද හංසයා වතුර ටික අයින් කරලා කිරිටික පානය කරනවා ඒ වගේ අපි නිසරු දේ බැහැර කරලා සරුදේ ගන්නයි මේ ඉගෙන ගන්නෙ. අපි මේ පිටිපස්සේ ඉඳලා තල්ලු කරන තණ්හාව කියන දේ දකින්නයි මේ උත්සාහය. ඒක දකින්න පුළුවන් වුණානම් ඒක ස්පර්ශ කරන්න පුළුවන් වුණා නම් අපේ මනසට පුදුමාකාර නිදහසක් වේවි. සාංසාරික ජීවිතයට අස්වැසිල්ලක් වේවි. මේ ලෝකෙ කොයි තරම් සාමකාමී සතුටු දායක තැනත් කරන්න පුළුවන්ද කියලා අපි දැන ගනීවි. ඒ අපේ මමත්වය කියන එක තුල හැංගිලා තියන සාධක ටික පේන්න පටන් ගත්තු හින්දා.
මම විශ්වාස කරනවා යම්තාක් දුරට හෝ අද මේ කතාව කියන්න පුළුවන් වුණා කියලා අදට කරන අවවාදය මෙතනින් සමාප්ත කරනවා
සාරාංශය හැටියට භාවනාව තුලදී ඔය ඇත්තන්ට පුළුවන්කමක් තියෙනවා හිත තැන්පත් කර ගන්න අර කියන විදිහේ ශරීරය තුළ තියෙන සියලු ස්වභාවයන් ටිකටත් සමාව දීලා ඒවටත් ඉන්න අවසර දීලා මාසයෙන් ඉන්න. අන්න එතකොට ඒ ඒ මොහොතවල් වල අපිව තල්ලු කරපු අපිව පාලනය කරන්න දගලපු අදහස පේන්න පටන් ගනීවි.
මේ එකත් එක්ක අපිට සමාජයේ හමු වෙනවා නොයෙකුත් කරදර කරනවද හිංසා කරන අය. හැබැයි ඒ අයගේ නෙමේ වරද ඒ අය ඇත්තටම අහිංසක අය ඒගොල්ලො දන්නෙ නෑ මේ මමත්වයට යට වෙලා ඉන්න නිසා මොකක්ද නිවැරදි දේ මොකක්ද වැරදි දේ කියලා. දැන් අපිට තේරෙනව බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේ දේශනා කරන කතාව කොච්චර සාධාරනද කියලා, එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවාව ආරක්ෂා කරනවා වගේ මේ මුළු ලෝකෙම ඉන්න ඔක්කොම ආරක්ෂා කරන්න. ඒදේ අපිටත් කරන්න පුළුවන් ඇත්තටම කියනවා නම් බුදුහාමුදුරුවො අපේ කණට කරලා කියන්නේ නෑ මෙහෙම කරන්න මයෙ පුතාලා කියලා. අපි ඉගෙන ගන්නවා ඒක තේරෙන්න පටන් ගත්තහම.
මෙවන් වූ දෙයක් ඔය ඇත්තන්ට ලංකරගන්න මෙම අවවාදයත් හේතු වාසනා වේවා.!!!
( අත්පිටපත සකස් කිරීම සදහා දායකත්වය ඉරිදා දහම් සංචිතයේ සන්ධ්‍යා රූපනෙත්ති මහත්මිය, පරිගණක දත්ත සටහන් කිරීම සදහා දායකත්වය පූර්ණා මහත්මිය )
......... සියලු යහපත සැලසේවා......
Comments
Post a Comment