අපක්ෂපාතී නිරීක්ෂණය භාවනා උපදෙස් අංක 02
දේශනාවේ පිටපත 👇
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස......///
බුද්ධං ධම්මං සංඝං නමස්සාමි.
"ජයං වේරං පසවති, දුක්ඛං සේති පරාජිතෝ, උපසන්තෝ පසංසේතී, හිත්වා ජය පරාජයං"
ශ්‍රද්ධාවන්ත පින්වතුනි අදත් පුරුදු පරිදි අර සතිපට්ඨානය කියන මාතෘකාවට අදාල දෙවැනි භාවනා උපදේශයයි මේ පැවැත්වෙන්නේ. ඉතින් අපි සිහිය පිහිටුවා ගැනීම නම් වූ භාවනාව සහ සාමාන්‍ය ජීවිතයේදීත් සිහිය භාවිතා කරන අයුරු ගැන විමර්ශනය කරන වෙලාවයි මේ.
පසුගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කළොත් අපි කතා කරන්න උත්සාහ කළේ සිහිය කියන දේ අපේ ජීවිතයට අතිශයින්ම සම්බන්ධයි කියන දෙයයි. ඒ වගේම සිහිය ගලපාගැනීමෙන් මහා ප්‍රයෝජන අත්කරගන්න පුළුවන් කියන කාරණයයි.
ඉතින් මූලිකවම මේ සතිපට්ඨාන භාවනාව වැඩීම තුළ ගොඩනැංවන කරුණු කරුණු 2ක් තිබුනා. 1. සමථය කියලා කියන හිතේ තැන්පත් බවත් 2.කරුණු කාරණා විමර්ශනය කරන්න සහ තේරුම් ගන්න පුළුවන් බව හැකියාව කියන විදර්ශනාවත් යන දෙකම එකට සමසේ වැඩෙමින් යන විත්තිය ඔය ඇත්තන්ට මුලින්ම කියල දුන්න බව මතක ඇති.
ඉතිං භාවනාවට පර්යංකයට හෝ සක්මනට යන්න පෙරාතුව මගේ යෝජනාවක් තිබුණා සාමාන්‍ය ජීවිතයේදීත් කරන කියන කටයුතු වලට පවා සිහිය අරගෙන යන්න උත්සාහ කරන්න කියලා. කතාබහ කරන හැසිරෙනකොට දැනුවත්වම කතාබහ කරන්න. වැඩ කටයුතු කරනකොට දැනුවත්වම වැඩ කටයුතු කරන්න. හිතන කොට ඒ ගැන දැනගෙනම හිතන්න පුරුදුවෙන්න.
ගියපාර මම ඔය ඇත්තන්ට මතක් කළා කතාබහ කරද්දී මොකක් හරි වචනයක වැරැද්දක් සිදු වුනොත් එහෙම ඒ වැරැද්ද හැකි ඉක්මනින් නිවැරදි කරගන්න කියල. කතාබහ කරපු එක නුසුදුසු ආකාරයේ දෙයක් නම් ඒකෙන් වහ වහා නිදහස් වෙන්ට කටයුතු කරන්න ඕන කියලා.එහෙම නොවුනොත් ඊළඟ අවස්ථාවේදීත් වටපිටාව සකස් උනාම අපේ චිත්ත සන්තානය තුළ නිවැරදි වචනය එහෙම නැතිනම් සම්මා වාචාව අපි හදලා දීලා නැත්තං අර පරණ පුරුද්දටම යන්න යාවි. ඒවගේ වැරැදි විදිහට කතාබහ වෙච්ච වෙලාවකට ඒ වැරැද්දට තමන්ටම සමාව දීල මෛත්‍රියෙන් යුක්තව වචනය නිවැරදි කරගෙන නැවතත් කියන්න. ඉතින් මේ ආකාරයෙන් ගත්තහම සතිපට්ඨාන ගමන තුලදී අපිට හැමදාමත් මෛත්‍රිය කියන බ්‍රහ්මගුණය ගොඩක් උපකාරයක් මයි.
එත් එක්කම වැඩ කටයුතු කරන කොටත් තමන්ට හැකි පමණ දැනුවත් භාවයෙන් වැඩ කටයුතු කරන්න ඉගෙන ගන්න.
ඉතිං ඔය කියන විදියට සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ දී පවා වර්තමාන මොහොතට නැතිනම් සිහියට ප්‍රධාන අවධානයක් දෙන්ට උත්සාහවන්ත වෙනවා නම් අපිට භාවනාව නිසියාකාරයෙන් කරගෙන යන්ට පුදුමාකාර සැහැල්ලුවක් රුකුලක් හම්බ වේවි. හැබැයි ඔය කියන විදිහට අපේ ප්‍රධානත්වය සිහියට නැත්නම් වර්තමාන මොහොතට පුරුදු නොකර භාවනාවට යොමු වුනොත් එහෙම, සාමාන්‍ය ජීවිතයේදීත් කොහොමත් තියෙන විවිධාකාර අදහස්, ආකල්පයනුත් අරගෙනයි භාවනාවට යොමු වෙන්නෙ. ඒ විවිධාකාර අදහස් තියෙන කෙනාමයි භාවනාවට වාඩි වෙන්නේ හෝ සක්මනට යන්නේ. ඒක එච්චර නුවන්ට හුරු නැහැ.අපි පොඩ්ඩක් බලමු සාමාන්‍ය ජීවිතයේ දී අපිට තියෙන ආකල්ප මොනවාද කියලා.
අපි හැමදාම යම් කිසි දෙයක් කරන්නේ යම්කිසි දෙයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙනුයි.විභාගයක් ලියන්නේ ඒකෙන් සමත් වෙන්නටයි සමහරක් වෙලාවට,සමත් වීමම ප්‍රමාණවත් නැහැ. ඉහළින්ම සමත් වෙන්නයි ඕන.
උදාහරනයක් හැටියට අපි හිතමුකො ඔය විදිහේ ඉහලින්ම සමත් වීම කියන එක කෙනෙක්ගෙ හිතේ තිබ්බ කියලා. අර විභාගයක් ලියන්ට කලියෙන් බොහෝම හොදට හිටපු කෙනා බලාපොරොත්තුට වැඩිබර දුන්නහම ඒ කෙනාගේ අර තිබිච්ච හොඳ ගතිගුණ වෙනුවට බලාපොරොත්තුවට බර තණ්හාධික ගති ලක්ෂණ මතුවෙන්න පටන් ගනීවි. හොදගතිගුණ ඈත් වෙන්න පටන් ගන්න පුළුවන් ඒකට හේතුව ඒකෙනාගේ තියෙන ඒ දුශ්ටියයි. ඒ දැක්ම සඵල වෙනකම්ම එයාට සැනසිල්ලක් නෑ. සැනසිල්ලක් ලබන්ට බැහැ අර හඹායෑම තියෙන හින්දා. හැබැයි ඒ හඹායෑම තියෙන අදහස තියෙන කෙනෙක් එවන් අදහසක් තමන්තුල තියෙන බව නොදැන භාවනාවට වාඩි උනොත් එවන් අයගේ භාවනා වාරයනුත් වර්තමාන මොහොතින් පිරුණෙ නැති බලාපොරොත්තු වලින් පිරිච්ච කාලයක් විතරක් වේවි. ඒ මොකද අපි වර්තමාන මොහොතට වැදගත්ම දෙන්නේ නැතිනම් වර්ථමාන මොහොතේ තියෙන දෙය අනුමත නොකරාවි. ඒ දෙයට සවන් දෙන්නේ නැති වේවි.වර්තමාන මොහොත කියන්නේ මේ දැන් තියෙන දෙයමයි කියලා විශ්වාස කරන්නේ නැති වේවි. තවත් විදිහකට කිව්වොත් එහෙම තරහින් ඉන්නවනම් තරහින් ඉන්න විත්තිය අනුමත කරන්නෙ නැති වේවි. සැකෙන් ඉන්නවනම් සැකෙන් ඉන්න විත්තිය අනුමත කරන්නෙ නැති වේවි. ආශාවට බැඳිලා රාගයෙන් ඉන්නවා නම් එය අනුමත කරන්නෙ නැති වේවි. කල්පනාවට බරවෙලා කල්පනාවට නැඹුරු වෙච්ච හිතකින් ඉන්නවා නම් ඒ බව විශ්වාස කරන්නේ හෝ අනුමත කරන්නේ නැති වේවි. ඉතින් මෙවන් වාතාවරණයක් තියෙන කෙනෙක් භාවනාවට වාඩි උනොත් එහෙම ඒ කෙනාට ඇත්තටම උවමනා වෙන්නෙ මේතියෙන දේ අනුමත කරන්න නෙවෙයි තමන්ට වුවමනා දේ කරන්න විතරයි. බාගදා එයාගෙ අදහස අභිප්‍රාය ආනාපානසතිය බලන්න නම් ඒක බලන්නටමයි උවමනාව.
ඉතින් ඒක පෙන්නේ නැති වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වෙන්ටත් ඕන. මොකද පිටේ බෑග් එකක් එල්ලගෙනයි වතුරට පැන්නේ. අන්න එතන ප්‍රශ්නයක් හදා ගන්නවා. ඒක ඊට පස්සේ අමනාපයට බර වෙන්නත් පුළුවන්. මොකද ජීවිතයේ වැඩි වෙලාවක් පුරුදු කරල තියෙන්නෙ අමනාප වීමේ ස්වභාවය නම් භාවනාවත් එච්චරටම සතුටුදායක සාමකාමී වෙන්නේ නෑ. සාමාන්‍ය ජීවිතය තුළදීත් තම ජයග්‍රහණයම තම බලාපොරොත්තුවම මුදූන් පමුණුවා ගන්නා අදහසින් බැහැර වෙන්න පුළුවන් නම් අපිට අවස්ථාවක් ලැබෙනවා ප්‍රශ්නය විසදගන්න පුළුවන් ලේසි පාරක්. ඒ ප්‍රශ්ණ විසදන්න පුළුවන් ලේසි පාර හැටියට බුදු හාමුදුරුවෝ කියන ගාථාවකුයි මං අද මාතෘකා කරගත්තේ. "ජයං වේරං පසවති, ජයග්‍රහණයක් ලබනවා කියලා කියන්නේ වෛරක්කාරයන් හදාගන්නවා කියන එකයි. පරාජය වෙනවා කියන්නේ මහා දුකකට හේතුවක්, බුදුරජාණන් වහන්සේලා වැනි දුකෙන් නිදහස් වෙච්ච අය අපිට කියලා දෙන ක්‍රමයක් තියෙනවා,ඒ තමයි දුකත් නැති පරාජය පරාජයක් නැති මධ්‍යස්ථ තැනක හිත තියාගන්න කියලා. ඕකෙන් අපිට ඉඟි කරන්නේ හිතා මතා කැමැත්තෙන්ම පරාජය බාර ගන්නවා කියන එකයි. කැමැත්තෙන්ම තරගයෙන් ඉවත් වෙනවා නැත්තං භාවනාව පැත්තෙන් ගත්තොත් එහෙම හිතාමතා කැමැත්තෙන්ම තමන්ට වුවමනා දේ තමන්ට රුචි කරන දේ කරන්ට හිතන්නේ නැතිව කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැතිව තියෙන්න දේත් එක්ක සාමයෙන් ඉන්න ඉගෙන ගන්නවා.
ඒ තියෙන දේ අනුමත කරන්න ඒ ස්පර්ශ වන දේ දැකගන්නට ඉගෙන ගන්නවා කියන එකයි. එතකොට මේ අපි කිට්ටු වෙන්නේ පොඩ්ඩ පොඩ්ඩ තට්ටු කරන්නේ අපි ගාව තියෙන මමත්වය එහෙමත් නැත්තං ආත්ම සංඥාව කියන සක්කාය දිට්ඨියටයි. මමත්වය වැඩි කෙනා මේ ලෝකය තුළ විශාල ප්‍රශ්න සමුදායක් ඇති කරනවා වගේම මමත්වය අඩු කෙනා මේ ලෝකය බොහොම සාමකාමී වටපිටාවක් තියෙන ලස්සන සුන්දර තැනක් බවට පරිවර්තනය කරනවා. ඒක අපවටා ඇති සමාජයට කරනවා වෙන්ට පුළුවන්, පවුලට කරනවා වෙන්න පුළුවන්, තමන්ට සිදු කරගන්නවා වෙන්නත් පුළුවන්.
ඉතින් පින්වතුනේ භාවනාවේදී අපි සිහිය වගේම සිහියේ ගුණාංග පුරුදු කරන අය වෙන්නත් ඕන. ඒ කියන්නේ භාවනාව අවසානයේ දී අද මම භාවනා වාරය තුල මොනවද කලේ, මොකක්ද උනේ කියල ආපස්සට මතක් කරන අය විය යුතුමයි. ඉන් අනතුරුව ඒ කාරණා සටහන් කරලා තියාගන්න ඕන. .ඕකටයි කමටහන් වාර්තාව කියන්නේ. ඊලග භාවනා වාරයට යන්න කලින් පෙර දවසේ කමටහන් වාර්තාව කියවන්න පුරුදු වෙන්න ඕන.
ඉතින් භාවනාවේදී මදක් සිහිය ඇතිකර ගත්තහම අපි මමත්වය නැතිව මොහොතක ඉන්න ඉගෙන ගනීවි. හැබැයි ඒ මොහොත හදාගත්තට හිතන්න නරකයි මේක නම් හරි ඊලගට මොකක්ද කියලා. මේ කොටස නම් සම්පූර්ණ වුණා ඊළගට තියෙන කොටස කරනවා කියලා. ආන්න ඒ වගේ මේක මදි, තවත් දෙයක් මට ලැබෙන්ට ඕන, එහෙම නැත්නම් මේ ස්වාභාවයට එහා ගිය තවත් දෙයක් ලබා ගන්ට ඕන, වගේ තණ්හාවට බැඳිච්ච අදහසකට අපිව කෙමෙන් කෙමෙන් යැවෙන්නත් පුළුවන්. "ආන්න ඒ තැන් හොදින් හදුනාගන්න". මොකද හිතට වැරදි ආරෝපණයක් දුන්නොත් ඒකේ ප්‍රතිවිපාක දීර්ඝ කාලීනවයි භුක්තිවිඳින්න වෙන්නෙ. මොකද සිහිය දියුණු කිරීමේ භාවනාව කියන්නේ වේගයෙන්ම සහ ඉක්මන් ම හිතට කතා කරන්න පුළුවන් මාර්ගයක් වෙන හින්ද.
ඒත් එක්ක මම අද තවත් කාරණාවක් ඔය ඇත්තන්ගෙ හිත් වල තියන්න කැමතියි.
පින්වතුනි බුදු පියාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ ම තිබිච්ච අද්දැකීම් වලින් අපිට කියලා දෙන්නේ, සතිපට්ඨාන භාවනාවේ ඒකායන අභිප්‍රාය වෙන්නේ යම් කිසි දෙයක් ලබාගැනීම නෙවෙයි.ඒ වර්තමාන මොහොතේදී තියෙන දෙයට අපතුල තියෙන "අල්ලාගැනීම" අතහැරීමට ඉගෙන ගැනීමයි. අතහැරෙන හැටි ඉගෙන ගැනීමයි. තියෙන දෙය තමන්ට උවමනා විදිහට වෙනස් නොකර ඒ දේත් එක්ක සාමයෙන් ඉන්න ඉගෙන ගැනීමයි.
නමුත් භාවනා යෝගියාට එක එක දේවල් ගැන අත්දැකීම් තියෙන හින්දා විවිධාකාර දේවල් ඉගෙනගෙන ඉන්න නිසා ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ අදහසක් එන්න පුළුවන්. භාවනාව තුළින් යම් කිසි දෙයක් ලබාගන්නටයි මේ සැරසෙන්නේ, යම් කිසි දෙයක් අත් කර ගැනීමටයි මේ සැරසෙන්නේ කියල. නමුත් බුද්ධ ශාසනයේ හිටපු මහා ප්‍රර්‍ඥඥාවන්තයෙක් වෙච්ච සාරිපුත්ත මහරහතන් වහන්සේගේ දේශනාවට අනුව නම් අපි මේ ඉගෙන ගන්නේ අපේ තියුණු කම අයින් කරන්නටයි. දන්න දේ බැහැර කරන්නටයි. උන්වහන්සේගේ උදාහරණයෙන් කියුවොත් අං කඩාගන්නටයි. මොකද අපි හැමදාම අපේ අපේ බලව වැඩිකරගන්නටයි උත්සාහ කරන්නේ. ඒකට පටහැනි වීමයි සිහිය පුරුදු කිරීම කියන්නෙ.
එතකොට ඇත්තටම කියනවා නම් මේ ඉගෙන ගන්නෙ අපි ගාව තියෙන හැකියාවන් ටික බැහැර කරල දාන්නයි. අපිට තියෙන උවමනාවන් බැහැර කරල දාන්න. ඒ උවමනාවන්, ඕනෑ එපා කම් ටික අයින් කරලා දැම්මට පස්සේ ඇතිවෙන නිස්කලංක සාමකාමී මනස, මමත්වයක් නැති මගේ කියලා ගන්නට දෙයක් උවමනාවක් නැති බැහැර කරන්නට ඕනෑම අවස්ථාවකදී සූදානම් වෙන විදිහේ ජීවිතයක් සකසා දේවි. බැහැර කළ යුතු දේ බැහැර කරන්නට ඕනෑම අවස්ථාවකදී හැකියාවක් පුළුවන්කමක් තියෙන නිහතමානී හිතක් හදාගනියි. පින්වතුනි අන්න ඒ තැනටයි අපි මේ භාවනාව තුළින් යන්නට උත්සාහ කරන්නේ.
මේ ඉලක්කය සපුරා ගන්න තමයි සාමාන්‍ය ජීවිතයේදී ඉද ම අප කරන කියන කටයුතු වල දී සිහිය එක් කරන එක අපි පටන් ගන්නෙ. ඒ තුලින් මූලික අභ්‍යාසයන් ටික කරන්න පුළුවන් වෙන හින්ද. මොකද මේ වැඩපිළිවෙළ කොනක ඉඳලම හදාගෙන යන්න ඕන. එහෙම කරගෙන ගියානම් හෝ ඒ විදිහට පුරුදු පුහුණු කරගන්න පුළුවන් කමක් තිබුණා නම් භාවනාවේදී පවා හිත හසුරුවා ගන්නේ කොහොමද කියන එක ගැන අපිට මහ ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒ අත්තිවාරම හොඳට සකස් වෙලා තියෙන හින්දා.
ඉතින් මේ ආකාරයට බලනකොට පින්වතුනේ අපි මමායනයෙන් ඉවත්වන අදහස තුළ මුල් බැස ගන්නකොට ඇතිවෙන සිතිවිලි, වචන, වැඩකටයුතු,ජීවනෝපාය, උත්සාහය පවා මමායනයෙන් තොර යහපත් බවට පරිවර්තනය වෙනබව දැන් ඔය ඇත්තන්ට තේරුම් යාවි.ඒකෙ තේරුම සතිපට්ඨානය පුරුදු කිරීම තුළින් සම්මා දිට්ඨිය ඇතිකර ගන්න පාර පෙන්නනවා වගේම ඒ සම්මා දිට්ඨිය යහපත් වූ සංකල්පනා ඇති කරගන්නටත් යහපත් වූ සංකල්පනාවන් සිටින කෙනා යහපත් වූ වචන කතා කරන්නටත් යහපත් වචන කතා කරන කෙනා යහපත් වැඩ කටයුතු කරන්නටත් යහපත් විදිහෙ වැඩ කටයුතු කරන කෙනා යහපත් ජීවිතයකට වෑයම් කරන්නටත් යහපත් ජීවිතයක් ගෙවන්නටත් යහපත් වූ ජීවිතය තුළ සිහිය ඇති කරගෙන ඉන්නටත් යහපතට එන විදිහට හිත තැන්පත් කර ගන්නටත් ඉගෙන ගන්නා වූ කෙනෙක් බවට පරිවර්තනය වේවි. වෙනත් විදියකට කීවොත් සතිපට්ඨානය වැඩීම තුළින් දුකින් නිදහස් වීමේ එකම ක්‍රමය වෙච්ච ආර්ය අෂ්ටාංගික මාර්ගයම සම්පූර්ණ වේවි. එවන් වූ මාර්ගයක ගමන් කරන කෙනාට සම්මා ඥාණ සහ සම්මා විමුක්ති කියන කාරණා දෙක සලසා ගන්නට පුළුවන් වෙන බවයි බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙන්නේ. ඉතිං ඔන්න ඔය කාරණා සිදු කරන එකයි, එවන් කාරණාවන් ඇතිකරගන්ට පාර හදාගන්න එකයි සතිපට්ඨානය පුරුදු කිරීම තුළින් අපි කරගෙන යන්නේ.
ඒක ගැන තවත් පැත්තක් කියනවනම් තමන්ගේ සිත ගියාවන් පසුපස හඹා යන්නේ නැතිව තමන්ගේ සිත ගියාවන් ඔස්සේ ජීවිතය මෙහෙයවන්නේ නැතුව, කරන්න පුළුවන් දේ කරනවා නමුත් ඒ කරන්න පුළුවන් දේ තුළත් යම්කිසි විදිහක සීමාවක් පනවාගෙන,තමන්ට දරන්න පුළුවන් සීමාවක් සහ අනිත් අයට කරදරයක් නොවෙන විදිහේ සීමාවක් හදාගෙන, මේ ජීවිතය ගමන් කරන්ට උත්සාහවන්ත වෙනවා. අන්න ඒක පුරුදු කරන කෙනාට සතිපට්ඨානය වඩනවා කියල කියනවා. ඒක කොහෙටවත්ම බර වීමක් නැති අපක්ෂපාත නිරීක්ෂකණයක් බවට පරිවර්තනය කර ගන්ට අපිට පුළුවන්කම ලැබේවි. භාවනාව අපක්ෂපාතී මෙන්ම එය නිහඬ නිරීක්ෂණයකි. එම පරීක්ෂණාගාරය තුළ අපි අපිවම නිරීක්ෂණයට ලක් කරාවි, පරීක්ෂාවට ලක් කරාවි. ඒ අපේ කතාව, වැඩකටයුතු සහ සිතුවිල්ල අපේම නිරීක්ෂණයට ලක් කරාවි. අපේ නිරීක්ෂකයා අපිම වේවි. අපේ පරීක්ෂකයා අපිම වේවි. අපිව හදන්නට හෝ දඬුවම් කරන්නට උත්සාහ කරන කෙනා අපිම වේවි. ඒක අසාධාරණ විදිහට නැතිව සාධාරණ වූ සාමකාමී විදිහට කරන්න අපිම ඉගෙන ගනීවි. ඉතින් ඔන්න ඔය කාරණාවයි සතිපට්ඨානය ඇතුලින් අපි ඉගෙනගන්නෙ. ඉතින් එවන් වූ ආකාරයකට සිත් සකසාගෙන හැකිතාක් මධ්‍යස්ථභාවයෙන් යුක්තව භාවනාවට යන්න පුළුවන් ආකාරය පුරුදු වෙනවා නම් ආනාපානය දැනුනා හෝ නැතා සද්ද ඇහුනා හෝ නැතා, වේදනාව දැනුනා හෝ නැතා ඒ සියල්ලම එකක් බවට එහෙම නැතිනම් සිහිය පිහිටුවා ගන්නටම උපකාර වන දෙයක් බවට පරිවර්තනය වේවි. ඒ හැරෙන්නට වෙන කිසිම රාජකාරියක්,වෙන කිසිම කර්තව්‍යයක් ඒ දේවල් වලින් සිදු නොවෙන වැටහීමට අපි කිට්ටු වේවි. එවන් වූ අවබෝධයක් ලබන්න පුළුවන් උනොත් අපි දැනගනීවි හුස්ම එනවනම් යන විත්තිය, ශබ්ද ඇහෙනව නම් එය වියැකී යන විත්තිය,වේදනාවක් එනව නම් ඒක වියැකිලා යන විත්තිය තේරුම් යාවි. එහෙම බවක් අපට ඇති කරගන්න පුළුවන් වුනොත් අපි හේතුඵල දහම කියන එක තේරුම් ගන්න පුළුවන් වේවි. දේවල් ඇතිවීම නිසා දුක ඇතිවෙනව, ඒ හේතු නැති උනාම ඒ දුක නැති වෙනවා කියන අර්ථය අපි තේරුම් ගන්නට පටන් ගනීවි. එහෙම වුනොත් අපිට මේ ජීවිතය නිදහසේ, සැනසිල්ලේ පුළුවන් කමක් සැලසේවි කියලා මම විශ්වාස කරනවා. ඉතින් එවන් වූ සැනසීමක් ඇතිකරගන්ට අදත් මේ කියල දුන්න භාවනා උපදේශය ඔය ඇත්තන්ගෙ සිත්සතන් වල බොහෝ කාලයක් මතකයේ රැඳේවා කියලා මම බලාපොරොත්තු වෙනවා.
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි......
"ජිනං වන්දාම ගෝතමං"
(දේශනාව සටහන් කිරීමට සහාය ඉරුදින දහම් සාකච්චා සංචිතයේ මල්කාන්ති ජයසිංහ මහත්මිය)
..... සියලු යහපත සැලසේවා ......
Comments
Post a Comment