අපක්ෂපාතී නිරීක්ෂණය භාවනා උපදෙස් අංක 01

 දේශනාවේ පිටපත👇

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස...///

 බුද්ධං  ධම්මං සංඝං නමස්සාමි

"ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං"

 පින්වතුනේ මූලිකවම ගත්තහම අපි දන්න මේ දහමේ අපි දන්නවා, අහල තියෙනවා, සමථය සහ විපස්සනාව කියලා දෙකක් සඳහන් වෙන බව. පළවෙනියෙන්ම  කියන්න සන්තෝසයි ඔය කියන සමථය සහ විපස්සනාව යන දෙකම සතිය වැඩීම තුළින් දියුණු වෙන විත්තිය බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරල තියෙනවා සූත්‍රවල, ඔය ඇත්තන්ට කැමතිනම් හොයල බලන්න පුළුවන්. ඒ කියන ගමනේදී  සතිය වැඞීමේ මූලාරම්භ ඉඳලම හිතේ තැන්පත් බව කියන "සමථ" ගුණයත්, කරුණු කාරණා නිවැරදි ආකාරයෙන් දැක ගන්නවා, දැනගන්නවා, අවබෝධ කරගන්නවා, කියන "විපස්සනාවත්", එහෙම නැත්තං අනිත්‍යතාවය, දුක් කතාවය සහ අනාත්මය අපි තේරුම් ගන්න පටන් ගන්නවා. ඒ කොහොමද සිහිය වැඩීමේ මුල ඉදලාම යන අවධානය නිසා.

  ඕකට මම අපක්ෂපාතී නිරීක්ෂණය කියලා කියනවා.

 එතකොට මේ සතිපට්ඨානය කියන ක්‍රමය තුළදී ප්‍රධාන තැන දෙන්නෙ "සිහියටයි".ප්‍රධාන තැන දෙන්නේ අවධානය යොමුවන දෙයටයි. නමුත් මීට පෙරාතුව අපේ ප්‍රධාන අවධානය උනේ හෝ අපේ මූලික අභිප්‍රාය අපේ මූලික වුවමනා කම, අපේ වුවමනාවට අනුව සිද්ධ වුණා වෙන්න පුළුවන්, මගේ කැමැත්තට සිද්ධ වුණා වෙන්න පුළුවන්, මගේ මනාපයට සිද්ධ කළා වෙන්න පුළුවන්, ඒ මගේ කියන තැනිනුත් නිදහස් වෙලා, මගේ මනාපයෙනුත් නිදහස් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ය අපිට කියලා දෙනවා. ඒ උන්වහන්සේගේ අර සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ තියෙන ඒ අත්දැකීම් ගොන්නත් එක්ක එක්කාසු කරගෙන කොහොමද?"වර්තමාන මොහොතේ" ජීවත් වෙන්න පුළුවන් නම්  ප්‍රශ්න වලින් නිදහසක් තියෙනවා කියලා උගන්නනවා.

මොකද ඒකට හේතුව එහෙමනම් මගේ කියලා දෙයක් වර්තමානයේ නැති එකයි. මීට කලිනුත් කිව්ව වගේ අපි මේ වැඩසටහන පටන් ගන්න කලින් ඔය ඇත්තො ධර්ම සාකච්ඡාවක් කළා, එහෙම නේද? දැන් ඒවා අතීතයට ගිහින් තියෙන්නේ අපිට ඒක පනවන්න පුළුවන් අතීතයක් විදිහට..... 

ඒක වෙන්ම හදලා පෙන්වන්න පුළුවන්.දැන් මේ ධර්ම සාකච්ඡාව ඉවර උනාට පස්සයි  කියල කියන්න පුළුවන් කාලයක් තියෙනවා. යම්කිසි වෙලාවකින් පස්සේ එතකොට අනාගතයක් තියෙනවා. හෙට කියලා දවසක් තියෙනවා හෝ තියෙන්න පුළුවන්. කොහොම නමුත් ඒ කියන කාරණා එතකොට "අනාගතයට" වැටෙනවා, හැබැයි වර්තමානය කියන එක තුළ අර කියන විදිහට පැනවීමක් කරන්න විදිහක් නෑ මැවීමක් කරන්න විදිහක් නෑ,ඒ මොකද ඒක ගලාගෙන යන ප්‍රවාහයක් හින්දා. "අතීතයක් හා අනාගතයක් අතර තියෙන ඉතාම සුළු කාල පරිච්ඡේදය" තමයි වර්තමානය කියල කියන්නේ. 

ඔන්න ඔය වර්තමානය අපිට අල්ලගන්න බැහැ, ගැට ගහ ගන්න බැහැ, මගේ කියලා තියාගන්න බැහැ, පුළුවන්නම් ලොකු හපන්කමක්. ඒ "වර්තමානය තුළ සිහිය පිහිටුවා ගැනීම" මේ දහමේ ඔය කියන අනාත්මය එහෙම නැත්නම් ආත්ම භාවයක් නැති ඒ අවබෝධය, ස්තීරභාවයක් නැතිබව එහෙම නැතිනම් අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්නා බව, ඒ කියන්නේ දේවල් වෙනස් වෙනවා කියනබව සහ ඒ වෙනස් වීම දුක් සහිත බව හෙවත් දුක්කතාවය අපි අවබෝධ කරගනීවි. එතකොට බලන්න මේ කාරණා අපි අවබෝධ කර ගනිමින්මයි භාවනාව ඉදිරියට කරගෙන යන්නේ. එහෙම නැත්තං සිහිය ඉදිරියට පුරුදු කරගෙන යනකොට අර කියාපු දේවල් අවබෝධ වෙන්න පටන් ගනීවි.

 එතකොට පින්වතුනි මම අර මුලින් කිව්ව වගේ අපි ඉගෙන ගන්නවුවමනයි " සිහියට ප්‍රධාන තැනක් දෙන්න" අන්න ඒක තමයි අපේ භාවනාව වෙන්නෙ. අපේ කමටහන වෙන්නෙ.එහෙමනම් අපි ඒ විදිහට සිහියට ප්‍රධාන තැනක් දෙන්ට දෙන්ට, ඒ දේට කිට්ටු වෙන්ට වෙන්න, නැඹුරු වෙන්න නැඹුරු වෙන්න අපේ ජීවිතය තුළ "සමථ ගුණයත්"- "විපස්සනා ගුණයත්" කියන මේ කාරණා දෙකම වැඩෙන්න පටන් ගනීවි. ඕකට ධර්මයේ කියනවා "යුගනන්ද" කියලා.

 එතකොට මුලක ඉඳලම අනාත්මය ට තට්ටු කරනවා නම් අනාත්ම ස්පර්ශ කරනවා නම් මේ කියන "සිහිය", අපි වර්තමානය තුළ කරන කියන දේවල් වලට අවදානමත් වෙන එකයි වඩාත්ම සුදුසු. සහ අපිට කරන්න තියෙන්නේ. අන්න ඒටික තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අන්තර්ගත වෙලා තියෙන්නෙ. එතකොට අපිට වරහන් ඇතුලේ කියන්න පුළුවන් "අපි සිහිය පුරුදු කරනවා නැත්නම් භාවනා කරනවා කියලා කියන්නේ" ඇත්තටම බුදුරජාණන් වහන්සේ  අර දුකෙන් නිදහස් වෙන්න භාවිතා කරන්න කියල උගන්නපු "ඒකායන මාර්ගය වෙච්ච ආර්ය අෂ්ටාංගික මාර්ගය" පුරුදු කරනවා කියන එකයි. 

ඇත්තම කියනවනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුල තිබෙන කාරණා අටම මේ සතිය තුල නැතිනම් සතිපට්ඨානය පුරුදු කිරීම තුළ අපේ ජීවිතවල ගොඩනැංවෙන්න පටන් ගන්නවා, වැඩෙන්න පටන් ගන්නවා.

අපි පොඩ්ඩක් බලමු ඒක වෙන්නේ කොහොමද කියලා. පළවෙනි ක්‍රමය තමයි අපි ජීවිත වල යම්කිසි විදිහක සංවර භාවයක් තියෙන්න ඕන. යම්කිසි විදිහක සුරක්ෂිතභාවයක් සීමාසහිත භාවයක් තියෙන්න ඕන. අන්න ඒකට සීලවන්ත වෙනවා නම් හොඳයි. සීලවන්ත වෙන්න වෙන්න සිහියට යන්න හරිම ලේසියි, සිහිය සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන්න සතිමත් වෙන්න හරිම ලේසියි. ඒ කොහොමද කියුවොත් කය සහ වචනය සංවර කරගැනීමයි.පංච සීලය ආරක්ෂා කරගැනීමයි.ආන්න එහෙම උනහම ,සිහිය ගලාගෙන යන පැති අපි සාමාන්‍ය ජීවිතයේ ඉඳලාම පටන් ගන්නවා. පුරුදු කරන්න හදනවා. එහෙම නැතුව අපි හිතනවා නම් භාවනාව තුලදී ඒ කියන්නේ පර්යංකය ට ආසනයක වාඩි වුණාට පස්සේ විතරයි හෝ සක්මන් භාවනාවේදී විතරයි මේ භාවනාව කරන්නේ එහෙම නැත්තං සිහිය පුරුදු කරන්නේ කියලා ඒක වැරදියි. මොකද එහෙම හිතනවා නම් සිහිය ඒ කියන අවස්ථාවන්ට විතරක් ආවේනික වෙච්ච කාරණාවක් වෙනවා. ඒ උනාට බුදුපියාණන් වහන්සේගේ දේශනාව තමයි "ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ,  සත්තානං විසුද්ධියා සෝක පරිදවානං සමතික්කමාය, දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය, ඤායස්ස අධිගමාය, නිබ්බානස්ස  සච්චිකිරියාය"  කියලා කියන කාරණය හිතන්න නරකයි "දුක් දොම්නස් ඇති වෙන්නේ, සෝක සන්තාපය න ඇති වෙන්නේ, ඤාණවන්තව කටයුතු කරන්න වෙන්නේ සහ නිවී සැනසෙන්නේ භාවනා කාලය තුළදීම විතරයි කියලා. අපි හැමෝම සාමාන්‍ය ජීවිතයේදී ඕන තරම් ඒ වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. එතකොට ඒ හැම එකක්ම තුළින් නිදහස් වෙන්න පුළුවන් බවයි, ඒ හැම දුකින්ම විමුක්තියක් ලබන්න පුළුවන් බවයි, නිදහසක්, නිවීමක්, සැනසීමක්, ලබන්න පුළුවන් බවයි බුදුරජාණන් වහන්සේ අපිට ඉඟි කරලා පෙන්නලා දෙන්නේ, හරියට දරුවෙකුට කතා කරනවා වගේ පුතා මෙන්න මේක කරන්න මෙහෙම කළොත් එහෙම ඔයාට දුකක් නැතුව ශෝකයක් නැතුව ඉන්න පුළුවන් ඔයාට හිතේ දුකක් හරි ශාරීරික දුකක් හරි තියෙනවා නම් ඒ වගේ නිදහස් වෙලා ඒවගෙන් බැහැරවෙලා සැනසිල්ලේ ජීවත් වෙන්න පුළුවනි කියලා අපිට ආරාධනා කරලා දෙනවා. ඒ වෙන මොකක්වත් කරන්න නෙවෙයි සිහියෙන් ජීවත් වෙන්න. 

එතකොට සාමාන්‍ය ජීවිතේ ගැන කතා කරද්දි ඔය ඇත්තන්ට මම යෝජනාවක් කරනවා අපි කතාබහ කරන අපේ වචන වල සමහරක් වෙලාවට හැගීම්බර තාවයක් එක්ක එකතු වෙලා තියෙන්න පුළුවන්. සමහර වෙලාවට ඉරිසියාවක්, තරහවක්, වෛරයක්, ප්‍රතික්ෂේප කිරීමක් වගේ විශේෂයෙන්ම අකමැති බවක්  හෝ මාන්නයක් සමග ආදී කියන හෝ මොන යම් හෝ ආකාරයක කෙලෙස් ස්වාභාවයක් එක්ක කැටිවෙලා තියෙන්න පුළුවන්.

අපේ වචන අන්න ඒ වගේ කෙලෙස් එක්ක සම්බන්ධ කතා වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් සාමාන්‍ය ජීවිතේදි එදිනෙදා වැඩ කටයුතු කරද්දී අපි යම්කිසි දෙයකට නුරුස්සනා බවක් තිබුනා කියලා හිතමුකො එතකොට ඒ වෙලාවෙදි අපි කරන වචන වල ස්වාභාවයයි චුට්ටක් වෙනස් නේද? අපි කථා කරන්නේ ඒ නුරුස්සන ස්වභාවය එක්කම ගියපු වචන නේද?  ඒ වටපිටාවට හරියන  ස්වාභාවයක් හා සම්බන්ධ වෙච්ච ඒ හා යන වචන කතා කරන්න අපි හුරු පුරුදු වෙලා තියෙනවා. නමුත් පින්වතුනි මේ සිහියේ දියුණුවත් එක්ක අපි කතා කරන වචන ගැන අවදානමක් වෙන්න පටන් අපි පටන් ගනීවි.අපි අපිවම දකින්න අපේ වචන දෙස බලන්න ඉගෙන ගනීවි. අන්න එහෙමයි අපේ කතාව නිසාම සිහිය ඇතිකරගන්නෙ. එතකොට මගේ යෝජනාව තමයි  අපේ වචන මිථ්‍යා වාචාවක් හැටියට කියවුනා කියලා හිතමුකො එහෙම වුනොත් තවත් විස්තර කළොත් අපි නොහිතා නොදැන අපි අමනාප වෙච්ච වෙලාවකට හරි, අමනාපය ඇතිවෙන විදිහට අපි කතාවක් අපෙන් එලියට ගියා කියලා හිතමුකො එන්න එතකොට මෙහෙම කරන්න, ඒ වචන ආපහු නිවැරදිව සකස් කරලා කියන්න, සමාව ඉල්ලලා ඒ වැරදි විදිහට කියපු වචන ටික ආපහු නිවැරදි විදිහට කියන්න. "අපි මේකට කියමු අපේ වැරැද්ද ඇතිවෙච්ච තැනම හදාගන්නවා කියලා". කරනවා කියලා එහෙම නැතිනම්  මිථ්‍යා වාචාව සම්මා වාචාවෙන් වහලා දානවා. මිත්‍යා ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා ආර්ය අෂ්ටාංගික මාර්ගයක් බවට පරිවර්තනය කර ගන්නවා. අන්න එහෙමයි අපි කාලයක් තිස්සේ කරපු වැරදි හදාගන්නේ. ඒක කලේ සිහියෙන් කතාබහ කල නිසයි. ආන්න බලන්න  අපි භාවනාව සතිපට්ඨාන පුරුදු කරලා තියෙන්නේ භාවනා කරන වෙලාවේදී පර්යංකයේදි හෝ සක්මනේදි විතරක් නෙවෙයි සාමාන්‍ය ජීවිතයත් අපේ භාවනාවේම කොටසක්. ඒ විදිහට සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ කතාබහේදි පවා සිහියට ප්‍රධාන තැනක් දෙන හින්දා අපේ සාමාන්‍ය ජීවිතයේ තියෙන ප්‍රශ්නත් පොඩ්ඩ පොඩ්ඩ ගිලිහෙන්න පටන් අරන් තියෙනවා. ආතාපි කියලා කියන වචනෙ තේරුම වෙන කෙලෙස්වලින් නික්මිච්ච, ඒ කෙලෙස් වලින් විනිර්මුක්ත වීම, එහෙම නැතිනම් තිබිච්ච අකුසල්, කුසලයෙන් වහල දානවා කියනදේ කරන්න අපි පටන් අරගෙන තියෙනවා. අන්න ඒ විදහටයි ආර්ය අෂ්ටාංගික මාර්ගාංග පුරුදු කිරීම අපි ටිකෙන් ටික පටන් අරගෙන ඇත්තෙ. ඉතින් දෛනිකව කරන කතාබහේ දී මොකක් හරි අවස්ථාවකදී තමන් අතින් වැරදි විදිහේ වචනයක් එළියට ගියානම් එහෙම උනාට කමක් නෑ, ඒ වැරදි විදිහට කියාපු වචනය නැවතත් වතාවක් "නිවැරදි කරල" කියන්න. නැවතත් වතාවක් හරි ගස්සල කියන්න. පහුගිය කාලේ මටත් එක අත්දැකීමක් තියෙනවා මං අපේ අම්මට කතා කරනකොට ගොඩක් වෙලාවට පරණ පුරුද්ද හින්දද මන්දා අමනාපය ඇතිවෙන විදිහට කතා කරන්න පුරුදු වෙලා හිටියා. ඒකෙන් අම්මා අසන්තෝශ වුණා මමත් අසතුටු වුණා. පස්සෙ කාලෙකදි මේ සිහිය මුණගැහුනා ට පස්සේ කතාබහ තුළදී ඒ විදිහට වැරදි ආකාරයෙන් මොනවා හරි වචනයක් කියවුනා නම්, මම උත්සාහයෙන්ම ආපහු ඒක නිවැරදි කරලා කියන්න පටන් ගත්තා. එතකොට කාලයක් තිස්සේ තිබුන දුකෙන් මම නිදහස් වෙන්න පටන් ගත්තා. මම හිතනවා ඒසැනසීම අපේ අම්මටත් දැනෙන්න ඇති.

  ආන්න ඒ වගේ උදාහරණ ඔය ඇත්තොලග හොදට ඇති. නමුත් නොදන්නා කාලෙදී වචන මෝඩ වචනයක් විදිහට එළියට ගියාට කමක් නෑ මෝඩකම කෙරුණට ප්‍රශ්නයක් නැහැ, නමුත් අකුසලය කුසලයෙන් වහල දානවා කියන කාරණය අපි ඉස්මතු කරගන්න ඕන. ඒක පාලියෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ "කුසලේන පිටීයතී" කියලයි. අන්න එහෙම වැරැද්ද නිවැරැද්දෙන් වහල දාන්න පටන් ගත්තහම ඊළඟ අවස්ථාව කදී අපිට තීරණය කරන්න දෙයක් එනවා අර වැරදි විදිහට කතාව කරනවද? නිවැරදි ආකාරයට යහපත් විදිහට වචන කතාබහ කරනවාද? කියලා. ඒක අපේ හිත අපිටම කතා කරලා කියයි ඒ මොකද සිහිය දියුණු කරන හින්දා.

   ඊළඟට තවත් කාරණයක් කියුවොත් ,දෛනිකව කතාබහ කරන අය අතර සිහිය සම්බන්ධයෙන් මොනවා හරි කතා කරන්න උත්සාහ කරන්න. එදිනෙදා ජීවිතයේ කතාවට සිහි පුරුදු කිරීම ගැන කතා කරන්න. අදහස් දක්වන්න උත්සාහ කරන්න එතකොට සිහිය කියන වචනය පවා සාමාන්‍ය ජීවිතය තුළදී භාවිතා කරගන්නා දෙයක් බවට පරිවර්තනය වේවි. ඒත් එක්කම පුළුවන් කමක් තියෙනවනම් අනිත් අයවත් මේදේට යොමුකරවන්න ඕන. සිහියෙන් කතාබහ කරන්න හේ සිහියෙන් කතාබහ කරන එකේ ආනිසංස පෙන්වලාදෙන්න වටිනාකම පෙන්වල දෙන්න. ඒ අයටත් කියලා දෙන්න එතකොට තමන් දරන අදහස තුළ තියෙන සෘජු භාවය ඇතිකර ගන්න. ඕකට "දිට්ඨිං උජුං කරෝති" කියලා කියනවා.අපේ අඩුපාඩුකම් අපි දකින්න තරමටම ඒ වැරදි දෘෂ්ටි අඩුවේවි. නිවැරදි වූ සෘජු මාර්ගයට අපිව අවතීර්ණ වෙන්න පටන් ගනීවි.සසර දුක ටිකෙන් ටික අයින් වෙලා යන්ට යාවි. අනිත් අයට කියන්න කිව්ව කියලා මේකෙන් අදහසක් කරන්නේ නැහැ ඔය අයත් භාවනා වැඩසටහන් කරන්න කියලා, ඒ උනාට තමන් එක්ක කුළුපගව ඉන්න අයටත් පුළුවන්නම් සිහියෙන් සිටීමේ වටිනාකම කියලා දෙන හැටියට බුදුරජාණන් වහන්සේ ය අංගුත්තර නිකායේ සූත්‍රවල උගන්නනවා. තමන් කවුරුහරි කෙනෙක්ට ආදරයක් කරනවා නම්, යහපත කැමතිනම්, එයාගෙ සුභසිද්ධිය බලාපොරොත්තු වෙනවා නම්, සලකන්න ඕන නම්, ඒ අයව වහ වහා සතර සතිපට්ඨානයේ ම යොමු කරන්න කියලා කියනවා. සතර සතිපට්ඨානය පුරුදු කරන තැනට නැඹුරු කරවන්න කියලා කියනවා. එහි පිහිටුවන්න කියලා කියනවා.

සාමාන්‍ය ජීවිතයට සිහිය ඈදාගන්න එකට මම යෝජනා කරන්නේ, අපි වැඩක් කරනකොට ඒදෙය කරද්දී මතුවෙන ශබ්දයක් තියෙන්න පුළුවන්, ඒ මතු වෙන හඬ අහගෙන කරන්න බලමු. එතකොට අපි එන්නේ වර්තමානයට ම තමයි. ඒ වර්තමාන මොහොතේදී අපි කරන දේ හා සම්බන්ධ දෙයකට අපි අවධානය දෙනවා. අපි කරණ දෙයත් එක්ක සජීවී වෙන්න පටන් ගන්නවා. උදාහරණයක් හැටියට ඉදලෙන් හරි කොස්සෙන් හරි අතුගාන කොට, අපිට කැමතිනම් මොනවා හරි හිත හිත අතුගාන්න පුළුවන් නමුත් ඒ ඉදලෙන් හරි කොස්සෙන් හරි එන ශබ්දය අහගෙන අතුගෑවා නම් ඒ දෙයත් එක්ක සජීවී වෙලා පිරිසිදු කළා නම් අපි වර්තමාන මොහොත තුළ ඉන්න ගමන්ම පිරිසිදු කිරීම කරල ඇති.තවත් එකක් කියන්නම් ඔය ඇත්තො මොකක් හරි වැඩක් කරනකොට තමන්ගේ අතපය හැසිරවෙන විදිහ තේරුම් ගන්න බලන්න අද දිගහැරෙන විදිහ හේ දිගහැරෙන එක අපිට දැනෙන විදිහ, අත නැමෙනකොට දැනෙන විදිහක් තියෙනවා, ඒක දැනගන්න බලන්න. මොනවා හරි උස්සනකොට අපිට බරක් දැනෙනවා. මොනවා හරි අල්ලනකොට ඒ අල්ලන දේ තුළ තියෙන බර ගතිය හරි සැහැල්ලු ගතිය හරි සීතල හරි උණුසුම හරි අපිට දැනෙන්න පුළුවන් මෙන්න මේ වගේ අපි කරන දෙයක් එක්ක සජීවී වෙන්න බලන්න මේ මොහොතට එන්න බලන්න හැබැයි මම කියන්නේ නැහැ සීයට සීයක්ම මේ කියන විදිහටම මුළු දවස පුරාවටම කරන්න කියලා. පුළු පුළුවන් හැටියට මේක මතකයේ තියෙන හැටියට මේ කියන සජීවි භාවයට සිහියට නිතර නිතර එන්න බලන්න. මේ කියන සිහියට නිතර එන එකේ කිසිම වැරැද්දක් නැහැ. මම බොහෝම වගකීමෙන් කියනවා. ඒත් එක්කම තමන් කරන වැඩේ තුළත් සිහිය ඇති කරගන්න උනහම අපි දැන් මේ ආවරණය කරන්නේ අර සම්මා කම්මංත කියලා කියන ඒ කාරණාව තමයි. මේක ආර්යෂ්ඨාංගික මාර්ගය පුරුදු කිරීමමයි. ඔය ඇත්තන්ට මතක ඇති අපි මුලින් අර මිත්‍යා වාචාව සම්මාවාචාවක් බවට පරිවර්තනය කර ගත්තා, දෙවනුව මිත්‍යා කම්මංතය සම්මා කම්මංතයක් බවට පරිවර්තනය කරගන්න උත්සාහ ගනිමු. ඉතින් ඊළඟට සිහිය පිහිටුවීමේ අනිත් අදියර.ඒකතමා සිතිවිල්ල ඕකෙ ඇත්තම කතාව කියුවොත් අපි හැමෝම කල්පනා කරන අය හැටියට කල්පනාවට රුසියො හැටියට හිතනවනෙ. ඒක වැරැද්දක් නැහැ හැබැයි හිතන්න තියෙනව නම් හෝ හිතෙනවනම් හිතන්න හැබැයි වෙන වැඩක් කරන ගමන් හිත හිතා ඒ වැඩේ කරන එක එච්චර සුදුසු නැහැ. නමුත් අපි පුරුදු වෙලා තියෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට පහුගිය කාලෙකට කලින් මටත් පුරුද්දක් තිබ්බා දානෙ වළදන්න පටන් ගත්තට පස්සේ මොනවා හරි හිතෙන්නේ පටන් ගන්නවා. කාලයක් යනකොට තමයි තේරුණේ මේක පුරුද්දක් කියලා අන්න ඊට පස්සේ තමයි, දහමේ උගන්වන උපදේශය මතක් වුනේ. "එක වෙලාවකට එක වැඩක් විතරක් කරන්න" කියන කාරනේ පුරුදු කරන්න පටන් ගත්තෙ. තවත් විස්තර කළොත් දානය වළදන කොට දානය වැළඳුවා විතරයි ඇණවුවේ නෑ, ඊළඟට වලදන්නෙ මොනවද කියල සැලසුම් හැදුවෙ නෑ,

අන්න ඒ විදිහට කාලයක් උවමනාවෙන් දානය වළදන්න ගත්තා. එතකොට අර දානය අණන සහ එය හපන වෙලාව අතර හිත එහෙ මෙහෙ දුවපු එක බොහෝම අඩු වුණා. ඉතින් මම ඔය ඇත්තන්ටත් කරන යෝජනාව තමයි කෑම කන කොට ඒ වෙනුවෙන්ම යොදවපු අවධානයෙන් ඒ දේ කරන්න කියලා. හැබැයි මම දන්නවා ඔය හැමෝම ගොඩක් කාර්යබහුලයි කියලා. ඒ උනාට අපි මේ කරන්නේ අපි හැමෝගෙම සංසාරික දුකෙන් නිදහස් වීම වෙනුවෙන් හින්දා මං හිතනවා සුළු කාලයක් හරි මේකට යොමු කරන්න පුළුවන් වෙයි කියලා. තමන් රූපවාහිනී බලනගමන් කෑම කනවා නම් කරුණාකරලා ඒක නතර කරන්න. දුරකථනේ ඔබ ඔබ කාට හරි කතා කර කර කෑම කනවා නම් කරුණාකරලා ඒවා නතර කරන්න. ඒවා අයින් කරලා තමන් කන කෑම එක දැනගෙන කන්න. කන්නේ මොනවද කියලා දැනගෙන හපන්න. එහෙම නැත්තං ගල්කැටයක් හැපෙන කොට හරි දිව හැපෙන කොට තමයි අපි දන්නේ අපි මේ කෑම කන වෙලාව කියලා.අපිට ආරණ්‍ය වල උගන්වනවා එක බත් ඇටයත් හොඳට කුඩු කරලා කන්න කියලා.අපිනම් මහණදම් පුරණ අය හැටියට අපිට නම් ඉතින් ඕන තරම් කාලයක් තියෙනවනේ දාන වළදන්න කොහොම නමුත් ඒ ආකාරයෙන් ඔය ඇත්තොත් තම තමන් කරන වැඩෙත් එක්ක තමන් ළඟටම වෙලා ජීවත් වෙන්න බලන්න. තමන්ගේ තියෙන දේවල් එක්ක ජීවත් වෙන්න බලන්න. තමන් කරන වැඩෙත් එක්ක සජීවී වෙන්න බලන්න.කොහොමනමුත් හිතනකොට අර කල්පනා කරන එක කරන්න ම උවමනා නම් ඒ කරන වැඩේ පොඩ්ඩක් නතර කරලා කල්පනාව විතරක් කරන්න බලන්න. ඒක ඇත්තටම හිතාමතාම දැනගෙනම කල්පනා කරන්න. ඒ කාරණය හොඳින් සැලසුම් කරන්න ඒ සැලසුමක් හදන්න තියෙන එකක් නම් ඒක හොදින් හිතලා මතලා සැලසුම් කරල ඉවරයක් කරලා දාන්න. ඊට පස්සෙ අනිත් වැඩේ පටන් ගන්න. මම හිතනවා මේ විදිහට හිත පුරුදු කරන්න පුළුවන් වුනොත් කාලයක් යනකොට අපි ඉගෙන ගනීවි කල්පනා කරන්න ඕන දේට කල්පනා කරන්නත් කල්පනා නො කරන්න ඕන දේට නිදහසේ කටයුතු කරන්නත්. එහෙම නැත්තං කල්පනා කරන්ඩ ඕන කාරණාව කල්පනා කරලා විසඳ ගන්නටත් නූමනා දේවල් කල්පනා නොකර ඉන්නටත් අපි ඉගෙන ගනිමු. දැනට අපිට ගොඩක් වෙලාවට බොහෝ අයට තියෙන ප්‍රශ්නෙත් ඕකනේ කල්පනාව හසුරුවා ගන්න කොහොමද කියලා දන්නේ නෑ. ඉතිං ඔය කියාපු විදිහට දේවල් පුරුදු කරන්නේ කොහොමද කියන එක තමයි සම්මා සංකප්ප කියන කාරණාවෙන් බුදුපියාණන් වහන්සේ අපිට කියලා දෙන්නේ.

මේ අපිට පුරුදු කරන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයමයි එතකොට ඕකෙන් භාවනා යෝගාවචරයා ඉගෙන ගනීවි අකුසලයෙන් නිදහස් වීම නැත්තං අකුසල් ටික කුසලයෙන් වහනවා කියන සම්මා වායාමය පුරුදු කරන හැටි.

පිංවතුනි දැන් තේරෙනවා ඇති සිහිය පුරුදු කිරීම මතම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන්නේ.අනෙක් කාරණා මම මේ වෙලාවේ විස්තර කළේ නැති වුණාට අපිට දැන් තේරෙනවා සිහිය පුරුදු කිරීම තුළින් දුකෙන් නිදහස් වෙන මාර්ගය කොයි තරම් නම් එළිපෙහෙළි වෙනවද කියලා. ඒ කොහොමද ඔය විදිහට දෛනිකව කටයුතු කරන කෙනාට බුදුරජාණන් වහන්සේ ආරාධනා කරනවා, නිස්කලංක තැනකට එන්න කියලා නිහඬ නිස්කලංක වටපිටාවකට එන්න කියලා, උදාහරණයක් හැටියට කියනවා නම් අපි හිතමුකෝ රූපවාහිනියක් දාලා තව කැසට් එකකුත් දාලා කට්ටියක් සෙල්ලම් කරන තැනක භාවනාවට වාඩි වෙනවට වඩා මං හිතනවා නිහඬ නිස්කලංක තැනක තමන්ට මේ මොහොතේ නිහඬ නිස්කලංකව මේ වැඩේ පටන් ගන්න එක ගොඩක් හොඳයි. ඒ කොහොම නමුත් මූලිකව හොඳට මතක තියාගන්න භාවනාවට ආධුනික කෙනෙක් හැටියට, භාවනාවට අලුතින්ම යන කෙනෙක් හැටියට, හිතලා ඒ හැඟීමෙන් භාවනාව පටන් ගන්න. පර්යංකය ට යන්නත් පුළුවන් එහෙම නැතිනම් සක්මන කරන්නත් පුළුවන්. පර‌්‍යංකයට නම් යන්නේ ටිකක් වාඩි වෙලා නිදහසේ තමන්ට යම් වෙලාවක් එක විදිහකට වාඩි වෙලා ඉන්න පුළුවන් වෙන විදිහේ ඉරියව්වකින් වාඩිවෙන්න. භාවනාවට යන්න කලින් සැහැල්ලු ඇඳුමක් ඇඳ ගන්න පුලුවන්නම් ගොඩක් හොඳයි. ඒත් එක්කම පර්යංකය ට කලින් සක්මනට යන එක ගොඩක් හොඳයි. සක්මනට කැමැත්තක් තියනවනම් ඇත්තටම මම යෝජනා කරන්නෙත් පොඩ්ඩක් සක්මන් කරලා පර්යංක භාවනාවට එන්න කියලා.

 සක්මන සිද්ධවෙන්නේ සරල විදිහට මහා දෙයක් නෑ අඩි කීපයක් ඉස්සරහට සහ ආපස්සට ඇවිදගෙන යන්න. ඇවිදගෙන යනකොට තමන්ට හොඳටම තේරේවි තමන්ගේ ඇඟේ මොනවා හරි ඇඳගෙන ඉන්න ඇඳුම් ගෑවෙනවා නම්, අවටින් මොනවා හරි සද්ද බද්ද ඇහෙනවා නම්, ඒ සංඥා වල් තේරේවී සමහර වෙලාවට අඩිය තියන එක තේරෙන්න උනත් පුළුවන්.

 ඒ කොහොම වුණත් කමක් නෑ භාවනා කරන්න පටන් ගන්නකොට ප්‍රධානම දේ තමයි තමන්ගේ අදහස්, ආකල්ප, උවමනාවන්, බලාපොරොත්තු එහෙම නැතිනම් භාවනාව කියන්නේ මේකයි මේකම විය යුතුයි අනේ ඒ වගේ තියෙන හැම එකක්ම පැත්තකට කරල දාන්න. ඊට පස්සේ "දැනෙන දේ දැනගන්න" බලන්න. ඔය ගොඩක් වෙලාවට කට්ටිය විශේෂයෙන්ම අහන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි නාසිකාඅග්‍රය හුස්ම තියාගන්න බැහැ, ඒක එතන දැනෙන්නෙ නැහැ, හුස්ම හැමවෙලාවකම බලන්න බැහැ, භාවනාවට වැඩි වෙලාවක් වාඩි වෙලා ඉන්න බැහැ,ඔය කියන විදිහේ කාරණා ඇත්තටම බුද්ධ දේශනාවේ කොහෙවත් කල යුතුමයි කියල පෙන්නලා නෑ.මේක  යුදහමුදාවෙ වගේ ඉරියව් පුරුදු කරන කාරණාවක් හෝ එහෙම වැඩපිළිවෙළක් නෙවෙයි. මේක ව්‍යායාමයක් පුරුදු කිරීමක් නෙවෙයි. ඊට වඩා මේක සිහිය දියුණු කිරීමේ වැඩපිළිවෙළක්. මේ තියන අදහස් උදහස් ආකල්ප ටික පැත්තකින් තිබ්බට පස්සේ නිදහසේ භුක්ති විඳින්න පුළුවන්. 

සක්මනේ දී නිදහසේ ඇවිදින්න බලන්න. හිතේ බරක් නැතුව එහෙම ඇවිදිනකොට තමන්ට දැනෙන්නෙ මොකක්ද, තේරෙන්නෙ මොකක්ද, කියලා තමන්ටම වැටහේවි. ඒ විදිහට සක්මන කරල ඉවරයක් කරලා. පොඩ්ඩක් මතක් කරන්න මම සක්මනේදි මොකක්ද කලේ කියල. ඊළඟට පොතක් අරගෙන කරුණාකරලා ඒ අත්දැකීම් ලියන්න. සක්මන් කරද්දී අඩිය තියෙන එක තේරුණාද? අඩි කීපයක් ද තේරුණේ, නැතිනම් අඩි තේරුනේ නැද්ද, වෙන මොනවද තේරුනේ කියන කාරණා මතක් කරලා සටහන් කරලා තියාගන්න. "අපි උදාහරණයක් හැටියට ගත්තොත් මේ විදිහට වෙන්නත් පුළුවන් සක්මන් කරද්දී අඩිය තියන එක තේරුණා. අඩි දෙක තුනක් තියෙනකං සිහිය පවත්වන්න පුළුවන් වුණා. සමහරක් විට ඒක චුට්ටක් වැඩිපුර සිහි ඇතිව සක්මන කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ හිත දුවන්න පටන් ගත්තා. එතකොට හිතුනා අපරාදේ මේ කාලේ කියලා මම මටම බැන ගත්තා. ආයේ මං පුළුවන් තරම් සිහිය ගන්න බැලුවා සක්මනට නමුත් එනවා යනවා. ඕක ඉතින් ඔන්න ඔහොම ඉස්සරහට පස්සට පැන පැන තිබුනා..........".ආං එහෙම වුණත් කමක් නෑ ඇත්තටම ඒක බොහොම හොඳ කමටහන් වාර්තාවක්. කොහොම නමුත් සක්මන් කරලා භාවනාවට වාඩි වෙනකොට හෝ සක්මනට යනකොට හිතට කියන්න ඕන මේකට මට ඕන තරම් කාලයක් තියෙනවා කියලා. තමන් කාර්යබහුල වෙන්න පුළුවන් කාර්යබහුල කාලසටහනකට වැඩ කෙනෙක් උනාට කමක් නැහැ අපි තත්පර වලින් ගමුකො පැය වලින් ගන්න එපා අඩු ලංසුවෙන් ගන්න. පැය වලින් ගත්තහම නේ අවුල තියෙන්නෙ තප්පර කියන්නකො එව්ව ඕන ගානක් තියෙනවා කියලා හිතන්න. මේක හිත රවට්ට ගන්නවා නෙවෙයි මම කියන්නේ භාවනාවට යනකොට අපේ පුළුවන් තරම් සැහැල්ලු වෙන්න ඕන කියන එකයි. පුළුවන් තරම් නිදහසේ මේදේට අත ගහන්න ඕනේ, සහනශීලි හැටියට බලාපොරොත්තු ඇති කර ගන්න පටන් ගන්න ඕනේ, පුළුවන් තරම් නිදහස් වෙන්ට නික්මෙන්න පුළුවන් වෙන විදිහකට කල්පනා කරන්ට අදහස් ඇතිකරගන්න පුළුවන්කමක් තියෙනවා තියෙන්න ඕනේ, එහෙම නැති වුනොත් අසුබවාදී හෝ මගේ ආකල්පයන්, උවමනාවන්, බලාපොරොත්තු සහ කැමති අකැමැති දේ, තම තමන්ගේ ඉලක්ක වගේ දේවල් නිසයි භාවනාවට ගොඩක් කරදර වෙන්නේ. කොහොම නමුත් ඔය කියන දේවල් පුළුවන් තරම් හඳුනාගෙන බැහැර කරල සක්මන් කරලා පර්යංකය වාඩි උනාම පළවෙනිම සමහරවිට ශරීරයට හිත එන්නත් පුළුවන්, බාගදා ඔය හතර වටින් එන සද්ද බද්ද වලට හිත එහෙ මෙහෙ යන්නත් පුළුවන්, තවත් සමහරක්විට තමන්ගේ ශරීරයේ වේදනා දැනෙන්නත් පුළුවන්, එහෙම නැතිනම් සිතිවිලි වලට හිත යන්නත් පුළුවන්, මොකක් උනත් කමක් නැහැ මගේ යෝජනාව මෙන්න මේකයි. "ඒ හැම එකක් දිහාම මෛත්‍රීමය සිතින් බලන්න". ඒ කියන්නේ ඒ හැම එකක්ම ගැන ප්‍රතික්ෂේපයක් ඇති කරගන්නේ නැති සිතින්, කුළුණු සිතින්, කැමති බවකින් බලන්න. හෝ හදුනාගන්න. අනුමත කරන්න. ඒ හැම එකම සාමකාමීව හඳුනා ගන්න බලන්න.

 ශබ්දයක් ඇහෙනවා නම් ඒක නරකයි කියන තැනට වඩා ඇහුනට කමක් නෑ කියන තැනට හිත ගන්න බලන්න. එහෙම නැතුව අපිට හිතන්න පුළුවන් නේ කෝ මේක දැන් අදත් පටන් ගත්තා කියලා, මම භාවනා කරන වෙලාවට මයි මේක සද්ද කරන්නෙ.... හරි ආන්න ඒ වගේ අමනාප වෙන්නත් පුළුවන් නෙ. එහෙම නැතිව ඒ සියලු දේ සමගම සාමයෙන් ඉන්න ඉගෙන ගන්න. ශාරීරිකව හෝ සඤ්ඤා හැටියට හෝ ඒ දැනෙන මොනවා හරි දෙයක් වේවා ඒ දෙය සාමකාමීව සනිටුහන් කර ගන්න බලන්න. ඒ දැනෙන හොඳ හෝ නරක දෙයත් එක්ක සාමයෙන් ඉන්න ඉගෙන ගන්න.

උදාහරණ හැටියට දාඩිය දාලා නම් තියෙන්නේ ඒක කොයි හරියෙද කියලා හඳුනා ගන්න බලන්න. හිත දුවනවා නම් දුවන්න අවසර දෙන්න. නැවත ශරීරයට එන්න බලන්න. හිත දුවන එකේ ප්‍රශ්නයක් නෑ.

 මගේ යෝජනාව තමයි පුළුවන් තරමක් ඔය විදිහට තමන්ට දැනෙන තමන්ට ස්පර්ශ වෙන දේවල් එක්ක ගැටෙන දේවල් එක්ක නොගැටී ඉන්න හිත හදාගන්න බලමු. මෙයයි අපේ භාවනාවේ ඊළඟ අංගය මේකට පාලියෙන් කියන්නේ "පරිමුකං සතිං උපට්ටපෙත්වා" කියලා ඒ කියන්නේ "සිහියට ප්‍රධාන තැනක් දෙන්න ඉගෙන ගැනීමයි". අපේ වුවමනාවට නෙවෙයි සිහියට නැතිනම් මතු වෙන දේට ප්‍රධාන තැනක් දෙන්න හිත පුරුදු කරනවා.

 භාවනාවේ සුප්‍රසිද්ධ ප්‍රශ්න කීපයක් තියෙනවා පළවෙනි එක තමයි, මොකක්ද වැදගත්ම වෙලාව,උත්තරය වැදගත් වෙන වෙලාව මේ වෙලාව මේ වර්තමාන මොහොත. ඊළඟ ප්‍රශ්නෙ තමයි මොකක්ද වැදගත්ම වැඩේ, ඒක තමයි මේ දැන් කරන වැඩේ. තුන්වැනි ප්‍රශ්නය ටිකක් සූක්ෂම යි. කවුද? වැදගත්ම කෙනා, අපි හිතන්නේ වැදගත්ම කෙනා තමන් කියලා තමන් හැටියටයි. මම තමයි වැදගත්ම කෙනා කියලා. හැබැයි, බුද්ධ ශාසනයේ හැටියට තමන් කියලා කියන්නේ මමත්වයට නම් එතකොට ඔය කියන මමත්වය දහමට පටහැනියි. එතකොට වැදගත්ම කෙනා වෙන්නේ මම නෙවෙයි මාත් එක්ක ඉන්න කෙනා හෝ මාත් එක්ක තියෙන දෙයයි. සිහිය අපිට උගන්වන්නේ ඔය කියන මමත්වය ඇතිකරගන්න නෙවෙයි නැති කරගන්න විදිහයි. සිහිය නිසා අපවටා ඇති දෙයට ප්‍රධාන තැන දෙන්න දෙන්න අපිත් එක්ක තියෙන දේ සමග සාමයෙන් ඉන්න හැටි අපට උගන්වනවා.

හැබැයි මේකෙන් කියවෙන්නෙ නැහැ, අනිත් අය හැමෝටම අපේ ඔලුවට අත හෝදන්න දෙන්න කියලා. ඒ උනාට මේකෙන් කියවෙන්නේ, මේ කියන අපක්ෂපාතී නිරීක්ෂණය නැතිනම් සතිපට්ඨාන භාවනාව කරන කෙනා ඉගෙන ගනීවි "බාහිර ලෝකයා අපිව තේරුම් ගන්න කලින්, අපි ඒ ඇත්තංව හෝ ඒ දේවල් තේරුම් ගන්න". අපි ගාවට එන ඒ සියලුම දිහා බලාගෙන ඉන්න, ඉවසන්න අපි පුරුදු වේවි. 

 වේදනාව අපිට කරදරයක් කියලා මීට කලින් හිතුවට ඊට වඩා මේ වේදනාවේ ස්වභාවයක් තියෙනවා කියන එක දකින්න, මේ ස්වභාවයේ හැටි තේරුම් ගන්න එහෙම නැත්තං ඒක හිමීට පටන් ගන්නවා වැඩි වෙනවා චුට්ටක් අඩුවෙලා යනවා කියන එක වගේ නිරීක්ෂණාත්මක කෝණයකින් දකින්න අපි පටන් ගනීවි. අපි අපි සමග ඇති දෙයට ප්‍රධාන තැන දෙන්න ඉගෙන ගත්තා නම් එතකොට මතුවෙන ශබ්දයට වුණත් ඔය ලක්ෂණයම තියෙන බව අපි ප්‍රායෝගිකව දැනගනීවි. 

සමහර විට හුස්ම නාසිකාඅග්‍රයේ දැනෙන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. ඒ දෙකම එකයි.තවත් වෙලාවක හුස්ම දැනෙන්නත් පුළුවන් ඒ දැනෙන එක, ටික වෙලාවක් දැනිලා නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඔය අපි තේරුම් ගන්න යන්නේ මේ ලෝකයේ තියෙන "වෙනස් වෙනවෙන ස්වාභාවයයි". ඒක වෙනමම කල්පනා නොකළා උනාට, හිතුවේ නැතුවා උනාට.

 ඉතින් සතිපට්ඨානය තුළ උගන්වන්නෙ අතීතයට සහ අනාගතයට දුවන හිත එහෙම නැතිනම් අකුසලයට නිතර නිතර යන හිත, වර්තමාන මොහොතේ තියෙන දේත් එක්ක ඉන්න හෝ තියාගන්න උගන්වන පාඩමයි. වර්තමාන මොහොතේදී තියෙන්නෙ මොකක්ද ඒ දේ ඒ තියෙන දේ ගැන දැනගන්න පාඩමයි. වර්තමාන මොහොතේදී කරන්නෙ මොකක්ද ඒ කරන දේ සතුටින් සහ නිදහසේ කරන්න උගන්වන පාඩමයි. මේකට අර මෛත්‍රිය කියන වචනය ළංකර ගත්තොත් ගොඩාක් ලේසියි. මෛත්‍රිය මුසු සංඥාවකින් ස්පර්ශ කරන එක වඩාත් හොඳයි. හැම දෙයක්ම මෛත්‍රිය මුසු වෙච්ච අදහසකින් බාරගන්න බලන්න. හැමදේකටම මෛත්‍රිය මුසු වෙච්ච විදිහේ සිතිවිල්ලක් එක්ක, අදහසක් එක්ක වැඩ කටයුතු කරන පුරුදු කරන්න.කතාබහේ දී මෛත්‍රිය මුසු වෙච්ච විදිහට කතාබහ කරන එක හොඳයි. වැඩ කටයුතු කරනකොට මෛත්‍රිය මුසු වෙච්ච විදිහට වැඩ කටයුතු කරන එක හොඳයි. හිතනකොටත් මෛත්‍රියෙන් යුක්තව හිතන එක වඩාත් හොඳයි. ඒ හැම එකක්ම අපිව යොමු කරාවි සිහිය ඇති කරනවා කියන කාරණයට වගේම අපිට කාලයක් තිස්සේ තිබුන දුකෙන් නිදහස් වෙන ක්‍රමය අපිම ටිකෙන් ටික ඉගෙන ගනීවි.එතකොට මෙතැන කියන්නේ නැහැ නිරන්තරයෙන්ම හුස්ම තුළම ඉන්න කියලා කියන කතාවක්. හිත දුවනවා නම් කමක් නෑ හිතට දුවන්න අවසර දෙන්න. හිත කියන්නෙ සංසාරිකව දුවපු දෙයක්.

අතීතය දිහා පොඩ්ඩක් එබිකම් කරල බැලුවොත් අපි කවදාවත් හිත එක තැනක තියාගන්න උත්සාහ කරපු අය නෙවෙයිනේ. ලස්සන ලස්සන රූප දැක්කනම් ඒව බලන්න යනවා. ලස්සන ලස්සන ඇඳුම් දැක්කනම් ඒව ගන්ට යනවා. ලස්සන ලස්සන අය දැක්කා නම් ඒගොල්ලන්ව හම්බවෙන්න යනවා. ලස්සන ලස්සන කෑම දැක්කා නම් ඒවා කන්ට යනවා. අවලස්සන දෙයක් දැක්කා නම් ඒවා විසි කරන්නට යනවා. කැත දෙයක් තියෙනවා නම් ඒක අයින් කරන්න යනවා. එක්කෝ ඒක විනාශ කරන්ට යනවා.......මේක අන්න එහෙම පුරුදු පුහුණු කරපු හිතක් නේ. 

ආනාපාන සතියට ශරීරයට එන්න කල්පනා කලා උනාට ඒක මුල් වතාවෙදි ඒක එහෙම වෙන්නෙ නෑ. හුස්ම ලස්සනට පේන්න නැහැ, හිත එහෙ මෙහෙ දුවනවා. නමුත් කමක් නැහැ ප්‍රශ්නයක් නෑ. ඒ සිද්ධ වෙන දේවල් වලට සිද්ද වෙන්න ඉඩ දෙන්න. ඒවාට මනාපය ඇතිකරගන්න ඒවාට හා කියන්න, ඒවට කැමැත්තක් ඇති කර ගන්න. අන්න එතකොට හිත ඔය බාහිරට දුවන එක මූලිකව අපිට කරදරයක් උනාට පස්සෙ දී අපි ඒ දේ අනුමත කරන්න වුණහම ඒක තවදුරටත් කරදරයක් නොවේවි. ශබ්ද ඇහෙන එක මූලිකව අපිට කරදරයක් උනාට, පසු කලෙක අපි ඒවා අනුමත කරන්න පටන් ගනීවි. අජාන් චා හාමුදුරුවෝ නම් කියන්නේ ශබ්දවලට අපි කරදර නොකරන තාක්කල් ශබ්ද අපිට කරදර කරන්නෙ නෑ කියලා.අන්න ඒකයි උන්වහන්සේගේ උපදේශය. 

ඉතිං අපි භාවනාවේදී ශබ්ද ඇහෙන්න එක කරදරයක් කියලා ගන්නෙ නැති තාක් කල් අපිට ඒ සද්දෙ කිසිම කිසි කරදරයක් කරන්නේත් නැහැ. ඔහේ ඇහෙන දෙයක් විතරයි. මොකද සද්දෙට කිසිම හැඟීමක් නැහැ දැනීමක් නැහැ. අපි තමයි ඕකට හැඟීමක් සහ දැනීමක් දාන්නේ. හේතුව සිහිය නැති කම.

 ඉතින් ඔය කියන ආකාරයට පොඩ්ඩෙන් පොඩ්ඩ නැවත නැවත නැවත නැවත තමන්ගේ හිත එහෙ මෙහෙ දුවනවා නම් ඒකට වෙන්න ඉඩ දෙන්න, දුවන්න දෙන්න, ඒකට සාදර වෙන්න, ඒ සිද්ධ වෙන දේට කැමති වෙන්ට, ඒක අනුමත කරන්න. එහෙම කරපුවහම මොහොතක් නිවීසැනසිල්ලේ වාඩිවෙලා ඉන්න ඔය ඇත්තන්ට පුළුවන් වෙයි.

 එතකොට ඔය ඇත්තන්ට තේරෙයි තමන්ගේ අවධානය නැතිනම් සිහිය ශරීරයේ අභ්‍යන්තයේ හෝ බාහිර කොහේ හෝ පතිත වෙන බව. හිත ගියේ ශරීරයේ අභ්‍යන්තයට නම් ඔය රිදීම් කැක්කුම්, අපහසුතා හෝ සමහර වෙලාවට සැහැල්ලු බව හෝ හුස්ම උනත් දැනෙන්න පුළුවන්. ශරීරයේ බාහිරට හිත ආපු බව තේරුම් ගන්න පුළුවන් වෙයි මෙන්න මෙහෙම උනාම, ඉන්න ආකාරය, ඉරියව්ව තේරීමෙන්, හම මතුපිට කසනව වගේ දැකීමෙන්, සම මතුපිට කූබි යනව වගේ දැකීමෙන්, බාහිර සුලග ඇග දැවටෙන බව දැකීමෙන්, හෝ ඒවගේ දේවල් වලින් සහ සක්මන් කරනවා නම් සක්මන් කරන ආකාරය තේරෙන්න පටන් ගනීවි. අඩිය බිම තියනවනම් ඒ අඩිය බිම තියෙන එක, ඔසවනව නම් ඔසවන බව තේරුම් යාවි. ඇදගෙන ඉන්න ඇදුම් ඇග දැවටෙන එක වගේ දැනීම් තියෙන්නත් පුළුවන්. 

හැබැයි සමහර වෙලාවට ආනාපාන සතියට හිත යන්න උනත් පුළුවන්. ඒ ගියා කියමුකෝ. හැබැයි ඒක අල්ලගන්න එපා ආ මෙන්න ආනාපානය හම්බ උනා, මේකෙම ගොඩක් වෙලාවක් ඉන්නවා කියලා. එහෙම බලාපොරොත්තුවක් හදා ගන්න එපා. එක හුස්ම පොදක් විතරක් දකින්න සූදානම් වෙන්න.එහෙම උනොත් විතරයි අපි විමර්ශනාත්මක ඇහෙන් බලාගෙන ඉන්න පටන් ගන්නෙ. මොකද සිහිය කියලා කියන්නේ අපක්ෂපාතී නිරීක්ෂණයක් හොදට මතක තියාගන්න. අපක්ෂපාතී නිරීක්ෂකයා මේ ගමන තුළ හදිස්සියක් ඇති කරගන්නෙ නැති මහ විශාල බලාපොරොත්තු ඇතිකර ගන්නෙ නැති "ලද දෙයින් සැනසෙන කෙනෙක්". ඇත්තටම භාවනාවෙ විශේෂම කියමන තමයි " ගොඩක් දුර යන්න නම්, පුළුවන් තරම් හිමිහිට යන්න" කියන එක.

ඉතින් ඔය කියන හැටියට අර බාහිර දේවල් වලට හිත එහෙ මෙහෙ දුවන දෙයට බාධා නොකර ඒ දෙයට, වෙන්න අවසර දුන්නහම, අපි ඉගෙන ගනීවි අපවටා ඇති දෙයත් සමග මේ මොහොතේ සාමයෙන් ජීවත් වෙන්න. මේ ජීවත් වෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි අපේ ශරීරය එක්කයි. මේ ශරීරයේ දැනෙන කියන දේ එක්කයි.

ඉතින් මේ විදිහට සිහිය පුරුදු කරන හැටි ඉගෙන ගන්න.අඩුම තරමේ දවසකට විනාඩි පහක් වත් භාවනාව පුරුදු කරන්න උත්සාහ කරන්න. එහෙම පුරුදු කරලා තමන්ට දැනිච්ච දේ මොකක්ද, තේරිච්ච දේ මොකක්ද, කියලා කරුණාකරලා ආපස්සට මතක් කරන්න, ආවර්ජනය කරන්න. ඊට පස්සේ පොතක් අරගෙන ඒක ලියන්න, ඒ වෙලාවෙම ලියන්න ඕවා නැත්තං අමතක වෙනවා. අනික් දවසේ භාවනාවට කලින් පහූගිය දවසේ කමටහන් වාර්තාව කියවන්න. අවස්ථාව ලදවිටෙක අපි සාකච්ඡාවට ලක් කර ගනිමු.

අද දවසට සාරාංශ හැටියට සාමාන්‍ය ජීවිතේදිත් අර කියන විදිහට සිත කය වචනය කියන තුන් දොර සංවර කරගෙන සිහිය දියුණු කරන්න පටන් ගත්තහම අපිටම තේරුම් යාවි, තමන්ගේ ජීවිතයේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් බව හෙවත් ඒ දුකින් නිදහස් වෙන මාර්ගය පුරුදු වෙන විත්තිය අපිටම තේරෙන බව වැටහෙන්න පටන් ගනීවි. අපි ඉදිරියේදී ඒගැන වැඩිදුර කතා බහ කරන්න උත්සාහ කරමු. ඉතින් අදට මේ සතිපට්ඨානය ගැන කරන පළවෙනි භාවනා උපදේශය හැටියට මම මේ කාරණා ටික ඔයා ඇත්තන්ගේ මතකයේ තැන්පත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ කියපු දේවල් ඔය සියලු දෙනාටම තම තමන්ගේ ජීවිතවල මේ සංසාර ගමන නැතිකරගන්න උපකාරයක්ම වේවා කියලා බලාපොරොත්තු වෙනවා.

"ජිනං වන්දාම ගෝතමං".

තෙරුවන් සරණයි.......

 සාදු......සාදු..... සාදු......

(දේශනාව සටහන් කිරීමට සහාය ඉරුදින දහම් සාකච්චා එකතුවේ මල්කාන්ති ජයසිංහ මහත්මිය)

..... සියලු යහපත සැලසේවා ....


Comments

Popular posts from this blog

අපක්ෂපාතී නිරීක්ෂණය භාවනා උපදෙස් අංක 19

අපක්ෂපාතී නිරීක්ෂණය භාවනා උපදෙස් අංක 11